අද තිබෙන්නේ අනුකාරකවාදී සමාජයක්

අද තිබෙන්නේ අනුකාරකවාදී සමාජයක්

සුමුදු චතුරාණි ජයවර්ධන

සිළුමිණ පුවත්පතෙහි පුන්කලස සාහිත්‍ය අතිරේකයේ ප්‍රධාන සංස්කාරිකා සුමුදු චතුරාණි ජයවර්ධනගේ නවත ම කෘතිය වියත් මුවදොර යි. පුන්කලස අතිරේකය සංස්කරණය කළ සංස්කාරකවරු අතරින් ළාබාල සංස්කාරිකාව වන ඇය මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය හදාරා ඒ විශ්වවිද්‍යාලයෙන්ම සමාජ විද්‍යාපති පශ්චාත් උපාධිය ද හිමි කරගෙන තිබේ. සුමුදු ගේ මේ කෘතියෙහි ඇතුළත් වන්නේ් වියතුන් තිස් දෙනෙකු සමඟ කරන ලද සංලාප යි. මේ ‘වියත් මුවදොර’ කෘතිය පිළිබඳ ඈ සමඟ කළ සංවාදයකි.

* පසුගියදා පාඨකයන් අතට පත්වුණු ‘වියත් මුවදොර’ සාහිත්‍ය කෘතිය පිළිබඳ යමක් පැවසුවහොත්,

මේ කෘතියේ තිබෙන්නේ මා අවුරුදු තුනක් තිස්සේ සිළුමිණ පුවත්පතට කරන ලද සංලාපවල එකතුවක්. ඒ සඳහා ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු සාහිත්‍යධරයන් විසින් එක් එක් කාලවකවානුවල දී දැරූ මතවාද ඊට ඇතුළත්. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පිරිසක් මීට සහභාගි වී සිටීමයි. මේ සංලාපයන්හි දී කවිය, ගීතය, නාට්‍ය, නවකතාව, කෙටි කතාව, විචාරය ආදී අංශයන් ඔස්සේ ඔවුන් කරුණු දක්වා තිබෙනවා. සමහර කාලවලදී ඔවුන් දැරූ සමහර මතවාද මේ වන විට ඔවුන් විසින් ම ඛණ්ඩනය කිරීම මෙහි ඇති අනෙක් විශේෂත්වයයි. ඒකයි මෙය වාද ප්‍රතිවාද මණ්ඩපයක් වන්නේ.

* සමාජයේ සෑම අංශයක් කෙරෙහිම මිලක් නියම වූ සමයකයි ඔබ සාහිත්‍ය කෘතියක් සමාජගත කරන්නේ. ඒ ගැන ඔබ දරන මතය කුමක් ද?

‘අද තිබෙන්නේ වානිජවාදී, අනුකාරකවාදී සමාජයක්. මෙහිදී ශාස්ත්‍රීය මාතවාදවලට නියමිත මිලක් ගැන අපට තක්සේරුවකට පැමිණෙන්න බැහැ. ඇත්ත ම කියනවා නම් එක්තරා සීමිත පිරිසක් අතර පමණයි ශාස්ත්‍රීය දේ හුවමාරු වන්නේ. ඒ නිසා මෙය දීර්ඝකාලීන ව ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් ගෙන දෙන්නා වූ කාර්යයක් නෙවෙයි. අපේ රටේ සාහිත්‍යධරයන් කිසිම කාලයක පොහොසතුන් නොවෙයි. ඔවුන් පොහොසත් වුණේ දැනුමෙන්.

සමාජයට කළ මෙහෙවරෙන්.මාර්ටින් වික්‍රමසිංහ, පියසේන නිශ්ශංක වැනි අයට තිබුණේ පාරම්පරික උරුමයන්. සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා වගේ වියතුන් ගත්තොත් ඔවුන්ට කියලා ගෙයක් දොරක් හදා ගත්තේවත් නෑ. මේ අය සාහිත්‍යයෙන් උපයා ගත් දෙයක් නෑ. එසේවූවා කියා ඔවුන් දැරූ ශාස්ත්‍රීය මතවාද කිසිම දවසක මිල කරන්න උත්සාහ ගත්තේ නෑ. සමාජගත කරන්නයි උත්සාහ ගත්තේ. අදටත් සාහිත්‍ය මතවාදවලට තිබෙන්නේ වෙන ම වටිනාකමක්. ඒක මිල මුදල්වලින් වෙන් කරන්න හැකි වටිනාකමක් නෙමෙයි.

* වත්මන් පරපුරට අපේ චිරන්තන ගද්‍ය, පද්‍ය, සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් නැති වගයි පෙනී යන්නේ. මේ සංලාපවලින් ඒ කාරණය වැඩි වශයෙන් අවධාරණයට ලක්කර තිබෙනවා. ඒ පරපුර නියෝජනය කරන්නියක් විදියට මේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

ඕනෑම සංස්කෘතියකට මූලයක් තිබෙනවා. ජාතක පොත, බුත්සරණ, අමාවතුර, සන්දේශ කාව්‍ය, ගුත්තිල කාව්‍ය වගේ ගද්‍ය, පද්‍ය ආදී පොහොසත් සාහිත්‍යයක් අප සතුයි. ඛේදවාචකය වෙන්නේ නව පරපුරේ බහුතරයක් මෙවන් කෘති තිබෙනවාද කියන කාරණයවත්නොදන්නා කමයි. අද බහුතරය අමාවතුර කියන්නේ වතුරක් ද කියලා අහන මට්ටමේ අයයි. වර්තමාන විචාරකයන් ගත්තත් ඔවුන් බොහොමයක් යුරෝපයට යනවා විවිධ මතවාද සොයාගෙන.

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, මායා යථාර්ථවාදය සොයාගෙන යන මේ අය අපේ ජාතක පොත ඇතුළේ මේ සියල්ල තිබෙනවා කියන කාරණය තේරුම් ගෙන නෑ. ඔවුන් ඒවා අධ්‍යයනය නොකරයි යුරෝපයට යන්නේ. මේවා අධ්‍යයනය කරන පිරිසක් අප අතර සිටිනවා. අද වන විට සුනන්ද මහේන්ද්‍රයන්, පාතේගම ඤානිස්සර හිමි වගේ විද්වතුන්, සිනමාව, විද්‍යුත් මාධ්‍ය පැත්තෙන් ගත්තොත් සුනිල් ආරියරත්න වැනි ප්‍රමුඛ විද්වතුන් පිරිස මේවා සොයාගෙන යන බවක් පෙනෙනවා. ඒත් සමඟ ම නව පරපුර මීට වඩා අපේ සම්පත් පිළිබඳ උනන්දු වුණා නම් කියලා හිතෙන්නේ මෙතැනදියි. මේ වන විට බටහිරින් මේවා හොයා ගෙන එන පිරිසක් ඉන්නවා.

කොයියෝගේ පොත් කියවන අපට හිතෙන දෙයක් වෙන්නේ අපි මේ කියවන්නේ බුදු දහමේ ආලෝකය ද කියලා. අපේ දේශය පසුකර අප යුරෝපයට යනකොට, අපේ මූලයන්වල තිබෙන්නා වූ වටිනාකම හඳුනාගත් ඔවුන් දැන් දැන් පෙරදිගට එනවා. ඉතිං ඇයි අපි අපේ දේවල්වලින් ප්‍රයෝජන ගන්නේ නැත්තේ කියන ගැටලුව මට තිබෙනවා. මම මේ සංලාපවලින් උත්සාහ ගත්තේ මේ කියූ කාරණා සමාජගත කරන්නයි. මේවායේ තිබෙන්නා වූ වටිනාකම නව පරපුරට හඳුන්වා දෙන්නයි.

* අද අනුකාරකවාදී පිරිසක් බිහිව තිබෙන්නේ පෙර පරපුරෙන් විධිමත් මඟ පෙන්වීමක් නොලද නිසා ද?

අපිව 80 දශකයටයි අයත් වෙන්නේ. අක් මුල් නැති පරම්පරාවක් ලෙසයි අප මතු වන්නේ. 77 විවෘත ආර්ථිකයත් එක්ක කිසිම බාධාවකින් තොරව සියල්ල ගසාගෙන ආවා. මේ සියල්ල අපි භාර ගත්තා විනා හොඳ ද නරක ද කියන විග්‍රහයක් අපට තිබුණේ නෑ. ඒකට හේතුවක් තිබෙනවා. මේ ප්‍රවාහ අපේ රටට ගලාගෙන එන අවස්ථාවේදී ඉන් ආරක්ෂාවීමේ වටපිටාවක් පෙර පරම්පරාව නිර්මාණය කර දිය යුතුව තිබුණා. සම්පූර්ණයෙන්ම නැහැ කියන්න බැහැ. නමුත් වඩාත් බර වෙන්නේ ඒක නොකළා කියන පැත්තටයි.

මම ඔවුන්ට චෝදනාවක් කරනවා නෙමෙයි. අපි අපේ පෙර පරම්පරාව ගැන කතා කරනවා. මහාචාර්ය මීගස්කුඹුරයන්ගේ, මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ, මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ, මහාචාර්ය ජෙ.බී.දිසානායකයන් ගේ දැනුම පිළිබඳ කතා කරනවා. ඔවුන් මොන තරම් බුද්ධිමතුන් ද කියලා කතා කරනවා. ඒ අය බුද්ධිමතුන් කළේ කවුද යන්නත් අපට මෙහිදී මතකයට නැඟිය යුතුයි.

මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය කේ. එන් ජයතිලක, යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම හාමුදුරුවෝ, මහාචාර්ය ම.ව සුගතපාල ද සිල්වා වගේ අය එතකොට අපගේ මතකයට නැඟෙනවා. මේ අය විසින් සුමට කරන ලද පරම්පරාවක් තමයි අපට වඩා පරම්පරා දෙකකට පමණ ඉහළින් සිටින්නේ. මට ගැටලුවක් තිබෙන්නේ මේ ප්‍රවාහ ගලාගෙන එද්දි, අපේ පරම්පරාව ආරක්ෂා කර ගැනීමට නිසි වැට කඩුල්ලක් විදියට ඔවුන් ක්‍රියාත්මක වුණා ද කියලා. ඔවුන් ක්‍රියාත්මක වුණා නම් අපේ පරපුර මේ තරම් ගසාගෙන යන එකක් නෑ කියන හැඟීමක් මට තිබෙනවා. කතා කළ යුතු, එරෙහි විය යුතු අවස්ථාවල දී පවා ඔවුන් නිහඬ ව හිටියා කියලයි මට හිතෙන්නේ.

* වසර 30 ක යුද කාලයක් තිබුණු රටක් විදියට ඒ හා සම්බන්ධ සාහිත්‍ය නිර්මාණවල බිහිවීමක් දකින්නට නොලැබෙන තරම්. ඒ බව වඩාත් අපට දැනෙන්නේ රුසියානු සාහිත්‍ය පිළිබඳ විමසීමේදීයි. මේ මතය සම්බන්ධයෙන් ඔබේ අදහස වෙන්නේ?

අපි වසර 30 ක යුද්ධයක් පසු කළා. කොළඹ සිටි අපට වඩා උතුරු - නැගෙනහිර සිටිය අපේ සහෝදර ජනතාවට මේ තත්ත්වය වඩාත් දැනුණා. අපේ නිර්මාණකරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ නගරය ආශ්‍රිතවයි. ඔවුන්ට මේ යුද අත්දැකිම් හරියට ග්‍රහණය නොවුණ ද කියන ප්‍රශ්නය මට තිබෙනවා. එක් අවස්ථාවකදී මහාචාර්ය තිස්ස කාරියවසම් මා සමඟ පැවසුවේ යුද්ධය පිළිබඳ අත්දැකීම් ගන්න නම් ඔවුන් යුද බිමට යා යුතු බවයි. වාර්තාකරණයෙන් ඔබ්බට යන්න නම් ඒ යුදබිමේ ටික කාලයක් ජීවත් වෙන්න ඕන කියලා. ලෙනින් කියන්නේ මැක්සිම් ගෝර්කිට රුසියන් විප්ලවයේ කැඩපත කියලා.

මේ ප්‍රකාශයෙන් අපට වැටහෙන්නේ යුද්ධයට පිටුපසින් මොනතරම් ශක්තියක්, බලවේගයක් ලෙස සාහිත්‍ය ක්‍රියාත්මක වෙනවා ද කියන එකයි.ඕනැම රටක සංවර්ධනයත් හෝ යුද්ධයත් කියනා කරුණු දෙක ම අධ්‍යාත්මික හා භෞතික කියන ද්විත්ව සංවර්ධනයන්ට බලපානවා. භෞතික සංවර්ධනය කෙරෙන අතරතුර දී සාහිත්‍යධරයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාත්මිත සංවර්ධනයයි. චිංගිස් අයිත්මාතව්, මැක්සිම් ගෝර්කි, තොලොස්තෝයි වැනි රුසියන් විප්ලවය මෙහෙය වූ ලේඛකයන් හිටියා.

ඔවුන් ඒ විප්ලවය මෙහෙය වූයේ පෑනෙන්. අයිත්මාතව්ගේ කෘති ගත්තොත් ඒ කියවන කොට අදටත් අපේ ඇස්වලට කඳුළු එනවා. පශ්චාත් යුද වකවානුවක දී ඒ කාලයේ ඇතිවන දහසකුත් මානුෂීය ගැටලු ගැන කතා කරන සාහිත්‍යයක් බිහිවුණේ නැහැ. ඒකට හේතුව වෙන්නේ අපේ ලේඛකයන් අපේ රටට අසීමිත ලෙස ආදරය කරන්න පුරුදු වෙලා නොතිබීමයි. රුසියන් ලේඛකයෝ තමන්ගේ රටේ පයට පෑගෙන වැලි කැටයකට පවා ආදරය කරනවා. හමාගෙන යන සුළඟට පවා ආදරය කරනවා. ඒ ආදරය හා ගෞරවය ඇති වෙනවා නම් ලේඛකයා අතින් බිහි වෙන්නේ අපේ දේවල්. අපේ ජීවිතය පිළිබඳයි ඔවුන් ලියන්නේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා