පොලිස් නිලධාරියකුගේ බැංකු ගිණුමෙන් රු.74,000ක් හොරෙන් අරන්

ජා ඇළ හොරා පොලිස් :

පොලිස් නිලධාරියකුගේ බැංකු ගිණුමෙන් රු.74,000ක් හොරෙන් අරන්

බැංකු පොත හොරකම් කරගෙන අස්සන ගහන්නත් පුරුදු වෙලා

ජා -ඇළ පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරියකු එම පොලිසියේම සේවය කරන වෙනත් පොලිස් නිලධාරියකුගේ බැංකු ගිණුමකින් රු. 74500ක් ව්‍යාජ අස්සන් යොදා ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකාර පොලිස් නිලධාරියා රු.7500ක මුදල් ඇප හා ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කෙළේ ය.

මෙලෙස මුදා හැරුණේ ජා - ඇළ පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පැමිණිල්ලේ සඳහන් ය. පැමිණිලිකරු ජා- ඇළ රජයේ බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වාගෙන යන අතර ඔහු තමාට අයත් එම බැංකු ගිණුම් පොත සහ ජාතික හැඳුනුම්පත සිය “ලොකර්” එකේ දමා තිබී ඇත.

සැකකාර පොලිස් නිලධාරියා මෙම ගිණුම්පොතද, ගිණුම හිමි නිලධාරියාගේ ජාතික හැඳුනුම්පත ලොකර් එකෙන් හොරකම් කරගෙන ඇති අතර පසුව පැමිණිලකරුගේ අස්සනද සැකකාර පොලිස් නිලධාරියා හොඳට පුරුදු වී තිබේ.

සැකකරු නිල ඇඳුමෙන් සැරසී බැංකුවට ගිණුම් පොත සහ ජාතික හැඳුනුම්පත බැංකුවට ඉදිරිපත් කර අස්සනද යොදා වංචා සහගත ලෙස මුදල් ලබාගෙන තිබුණි. වරද පිළිගත් සැකකරු වංචා සහගත ලෙස ලබාගත් මුදල පැමිණිලිකරුට අධිකරණයේදී භාර දුන්නේ ය. පෑලියගොඩ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් 31446 හේරත් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පැමිණිල්ල මෙහයවීය. නැවත විභාගය 2013 .02.19 ට කල් තැබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා