මස්ඉඹුල ප්‍රබන්ධ කථාවට පොඩි එකෙක් !

මස්ඉඹුල ප්‍රබන්ධ කථාවට පොඩි එකෙක් !

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

දීර්ඝ කාලයකට පසු රසවත් හා අව්‍යාජ සිංහල නවකතාවක් කියැවීමි. ඒ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ “සෙංකොට්ටන් ය”. සියල්ලෙන් මිදී හුදෙකලාව එක දිගට ආස්වාදය කළ හැකි කෘතියක් සේ එය හඳුන්වමි. ඔහු කදිම කථා වින්‍යාසයක් ගොඩනඟයි. එහි ම ප්‍රබල සමාජ ගැටලුවක් සංවාදයට ලක් කරයි. එහි ම උත්තරීතර යැයි කියනු ලබන මනුෂ්‍යත්වය ද සංවේදී යැයි කියනු ලබන ජීවිතය ද ප්‍රශ්නාර්ථයට ලක් කරයි.

නවකතාකරුවාට ඉන් එහා පුරුෂාර්ථ මතු කළ හැක්කේ කලාතුරෙකින් ය. එබඳු නිවැරැදි දෘෂ්ටිවාදයක පිහිටා දේශපාලන පුරුෂාර්ථ මතු කිරීමට තරම් මස්ඉඹුල මෝරා වැඩී නැත. ඔහු ප්‍රබන්ධ කථා කලාවට පොඩි එකෙකි. එහෙත් මෑත කාලයේ සම්මානයට පාත්‍ර වූ සිංහල නවකතා ගොන්නට වඩා සිය ගුණයකින්වත් “සෙංකොට්ටන්” ප්‍රබන්ධය උසස් ය.

හුදු නවකතාවක් ලෙස කියැවීමේ දී මේ ප්‍රබන්ධයෙන් මතු වන කැපී පෙනෙන විශේෂතා කිහිපයක් දක්වන්නට කැමැත්තෙමි.

(i) අව්‍යාජ කතා වස්තුව
(ii)
ජීවමාන චරිත නිරූපණය
(iii)
සූක්ෂ්ම ජීවිතා’වබෝධය
(iv)
සමාජ විශ්ලේෂණය
(v)
අපූරු සංයමය

මස්ඉඹුලගේ නිරීක්ෂණයට ලක්වන්නේ මීට දසක පහ – හයකට හෝ ඊටත් පෙර හෝ ශ්‍රී ලංකාවේ පැවැති කුල පීඩනය යි. රෙදි සේදීම රාජකාරිය කරගත් රදා කුලයේ ගම්මානයක අනුවේදනීය කතාව කර්තෘ විසින් කදිමෙට ගළපනු ලැබේ. එදා සහ අද අතර කුලය පිළිබඳ සංකල්පයේ වෙනස් චින්තන ධාරාවන් ද, එහි ම සමාජ සාධක ද සමඟ මුලින් කී කතාව ගළපන්නට මස්ඉඹුල වෑයම් කරයි. කුල පීඩනය අදත් මැකී ගොස් නැත. වෙනස ඇත්තේ එය වෙන ම අවස්ථාවල දී වෙනස් ආකාරයකින් මතුවීම පමණි. ශ්‍රී ලංකාවේ කුල ධූරාවලිය පිළිබඳ පර්යේෂණ කෘති කිහිපයකින් ද ඒ බව සනාථ වී තිබේ.

මේ නවකතාවට පාදක වී ඇත්තේ විශ්වසනීය සිදුවීම්ය. ඒවායෙහි අතිශයෝක්තියක් හෝ ව්‍යාජයක් හෝ නැත. මස්ඉඹුල සිය චරිත සමූහයේ සෑම අංශයක් කෙරෙහිම සියුම් නිරීක්ෂණය යොමු කරයි. ඔහු ළඟ හිතළු නැත. උපකල්පන නැත. මවාපෑම් නැත. නූතන සිංහල නවකතාවේ බහුල ලෙසින් දකින්නට ලැබෙන සිහින, හිතළු හා වැල්වටාරම්වලට මේ කර්තෘවරයා ප්‍රබල උත්තරයක් සපයා තිබේ. නවකතාකරුවාගේ එක් වගකීමක් වන්නේ හාත්පස සමාජය විශ්ලේෂණය කිරීම නම්; ඒ කාරණය මස්ඉඹුල අතින් මොනවට ඉටු වී තිබේ.

කර්තෘවරයාගේ තවත් විශේෂයක් වන්නේ තමන්ගේ වස්තු විෂයය සම්බන්ධයෙන් බොහෝ කරුණු හදාරා තිබීම ය. අද බොහෝ ප්‍රබන්ධ රචකයන් කරනුයේ ආරංචි මාත්‍රයෙන් කතා වස්තු ගොඩනැගීම ය. ඒ නිසා ම සිංහල නවකතාවලින් බොහොමයක් ව්‍යාජ – වට්ටෝරු බවට පත් ව තිබේ. මස්ඉඹුල මවන චරිත ජීවමාන ය. අවස්ථා ජීවමාන ය. භාෂාව ජීවමාන ය. ඔහුගේ සෑම සංවාදයක් ම හැඟුම්බර ය. රසවත් ය. එලෙස ම ධ්වනිථාර්ථවත් ය.

“කොහොම ද උන්නැහැ අර තරං ලස්සන කවි බඳින්න ඉගෙන ගත්තෙ...?”

“නඟා දැක්කම මට නිකං ම මතක් වුණා...”

“මාව දැක්කන් ද නැත්තං...?”

“ඔව්, ඔව්... නඟාගෙ එවුව - මෙවුවා දැක්කං තමා මට ඔය කවිය බඳින්න හිතුණෙ”

(පිටුව 41)

අනගිහාමි උන්නැහැගේත් පොඩිනාගේත් කාම පළහිලව්ව නිරූපණය කරනුයේ කාමය ඉදිරියෙහි කුලවන්තයාගේ කෛරාටික ස්වරූපයත්, කාමය ඉදිරියෙහි කුලහීනයන්ගේ පිබිදීමත් සියුම් ලෙස දනවමින් ය. ආදරය හා රාගය ඉදිරියේ කුල පීඩිතයනට නිසි තෝරා ගැනීමක් තිබිය නො හැකිය. ඔව්හු දැන-දැන ම අමාරුවේ වැටෙති. එහෙත් මනුෂ්‍ය ස්වාභාවය වනුයේ සිය කායික අවශ්‍යතා කෙබඳු ලෙසකින් හෝ පිරිමසා ගැනීම ය. පොඩිනා ද හීං රිදී ද මේ ඉරණමට ගොදුරු වෙති.

මේ නවකතාවේ ඉතා සියුම් ලෙස ද ගැඹුරු ලෙස ද නිරූපණය වන චරිත දෙකක් තිබේ. ප්‍රධාන චරිතය වන්නේ වීරප්පුලි හේනයා ය. දෙවන චරිතය වන්නේ පොඩිනා ය. මේ චරිත දෙක ඔස්සේ මනුෂ්‍යත්වය හා ජීවිතය ප්‍රශ්න කිරීමට ලක් කෙරේ. වීරප්පුලි හේනයා කුල පීඩනය දරා ගත නො හැකි ව ගොරොක් ගසක එල්ලී සිය දිවි නසා නනී. පොඩිනා ආදරය හඹාගෙන ගොස් මහා වනාන්තරයක දී කුරිරු ලෙස ඝාතනයට ලක් වේ. එහෙත් වීරප්පුලි හේනයා මහා ධෛර්යවන්ත මිනිසෙකි. පොඩිනා මහා එඩිතරකමක් සහිත නිර්භීත ගැහැනියෙකි. ඔව්හු පරමාදර්ශ සේ පෙනී සිටිති.

නවකතාකරුගේ තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ඉතා සංයමයකින් යුතු ව අවස්ථා හා සිද්ධි නිරූපනය කිරීම ය. ඇතැම් නවකතාකරුවකු කුණුහරුප ගොන්නක් සමඟ අමු-අමුවේ විස්තර කරන අවස්ථාවක් මස්ඉඹුල ඉතා සංයමයකින් සියුම් ලෙස නිරූපණය කරන ආකාරය සිත්ගන්නාසුලු ය. “අම්මා කොටහළු මඟුල් ගෙදරක ගොස් සිටි දිනයක රාත්‍රියේ තමාට දොට්ට-පිලට යෑමට වුවමනා වී සාලයේ නිදාගෙන උන් අක්කා සොයද්දී ඉස්තෝප්පු කාමරය දෙසින් සියුම් ඉකිබිඳුමක් ඇසිණි. ඉස්තෝප්පු කාමරයේ ලාම්පුව ද දල්වා තිබූ අතර, මඳක් කරපොවා බැලීමට හීං රිදී කල්පනා කළා ය.

මිදුලට බැස ඉස්තෝප්පු කාමරයේ ජනේලය තනා තිබූ පිටපලු ලෑලි අතරින් බැලූ කළ ඇය දුටුවේ ඇඳේ පාමුල නම්බු හේනයා අයියා වාඩි වී බිම බලාගෙන ඉන්නා අයුරුය. ඇදේ ඉහළ කොටසට වෙන්නට අක්කා වාඩි වී සිටියාය. ඇගේ හැට්ටය ඇඟේ නො තිබූ අතර ඉණෙන් බුරුල් වූ චීත්තයෙන් යන්තමට ඇඟ ආවරණය වී තිබිණි. ඕ බැගෑපත් ස්වරයකින් “එන්නකෝ!”යි කියා දෙවරක් අයියාට කතා කළ ද ඔහු එදෙස බලා යළි අසරණ ලෙස මුහුණ බිමට නැඹුරු කර ගත්තේ ය. මඳ වේලාවක් නිසොල්මනේ උන් අක්කා එකවර අයියා ළඟට පැන පිස්සියක මෙන් ඔහුට ගසාගෙන – ගසාගෙන ගියා ය.”

(පිටුව - 60)

මස්ඉඹුල නිරූපණය කරනුයේ පෞරුෂයෙන් හීන නම්බු හේනයාගේත්, නිර්භීත සුන්දර ගැහැනියකගේත් පවුල් සංස්ථාවේ ඛේදවාචකය යි. ඔහු එම අවස්ථා ඉතා අනුවේදනීය ලෙස පාඨක සිත්හි චිත්‍රණය කරයි. අවසන් විග්‍රහයේ දී එය ද කුල පීඩනය නම් ගිණුමට එකතු වේ. පොඩිනා ගැහැනියක වන්නේ ද මවක වන්නේ ද කුලවන්ත අනගිහාමි උන්නැහැ නිසා ය. ඇයගේ ආදරය රැඳී ඇත්තේ ද ඔහු මත ය. එහෙත් කුල භේදය විසින් ඇය දුර්වල පුරුෂයකු කරා තල්ලු කර තිබේ.

මස්ඉඹුල හිතා-මතා ම හෝ ඉබේ ම උත්ප්‍රාසාත්මක නිරූපණයන්හි යෙදෙයි. එය ඔහුගේ අත්දැකීම් ඔස්සේ ගලා එන්නට ඇතැ’යි සිතේ. වාමාංශික දේශපාලනය ඔස්සේ පන්ති භේදය හා කුල භේදය නිමා වන තුරු බලා සිටින චරිතයක් මේ කතාවේ එයි. එම චරිතය සියුම් ලෙස නිරූපණය කරන කතුවරයා ඔහුගේ මෝඩකම් හා ව්‍යාජයන් ද ඇතැම් විට රැවටීම ද සදය උපහාසයකට ලක් කරන බවක් අපට පෙනේ. මස්ඉඹුල තෝරා ගත් සෑම චරිතයක් ම පාහේ් වරින් – වර හාසය්‍යයට ලක් කෙරේ. මිනිස් ජීවිත තුළ පවතින රැවටීම – මුළාව හා මෝඩකම මස්ඉඹුලට ඉතා හොඳින් ග්‍රහණය වී තිබේ. එය මේ කතුවරයා සතු විශේෂයකි.

කතුවරයා තම විෂය පථයට හසු කරගෙන ඇත්තේ තමා හොඳින් හඳුනන පරිසරයක් හා වටහාගත් චරිත කිහිපයක් බව පෙනී යයි. මහා ලේඛක අර්නස්ට් හෙමිංවේ වරක් කියා සිටියේ තමා නො ගිය තැනක් ගැන නො ලියනු. තමා නො හඳුනන තැනැත්තකු ගැන නො ලියනු යන්න ය. ගම් – නගර - ස්ථාන ඒ නම්වලින් ම හැඳින්වීම හෙමිංවේගේ කතා කලාවේ එක් ලක්‍ෂණයකි. ඒ මගින් පාඨකයා ජීවමාන ලෝකයකට රැගෙන යා හැකි ය. මස්ඉඹුල ද ඒ ක්‍රමය බොහෝ සෙයින් අනුගමනය කරයි.

2012 සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් චීනයේ මොයාන් නවකතාකරු ද තම කතා වස්තු තෝරාගත්තේ චීනයේ තමාට හුරු පුරුදු ගොවිබිම්වලිනි. ඔහු ඇතැම් විට ජනශ්‍රැතිය ද, සම්ප්‍රදායේ එන සංකේත ද භාවිත කරමින් තම ප්‍රබන්ධය ගොතයි. මස්ඉඹුල ද සංකේත භාවිත කරයි. මේ කතාවේ එන බෝ ගස අපූරු සංකේතයකි. ආසියාවේ සාමකාමී ප්‍රතිපත්ති ඔස්සේ බොහෝ ගැටලු විසඳාගත හැකි යැයි දේශපාලන මතයක් මේ මගින් ගම්‍ය වේ යැයි කෙනකු සිතන්නට පුළුවන. ඇතැම් පාඨකයකුගේ හැඟීමට අනුව මස්ඉඹුල ස්ත්‍රීවාදී ලේඛකයකු වන්නටත් පුළුවන. කුමක් වුව ඔහු වනා හී මහත් බලාපොරොත්තු තැබිය හැකි නවකතාකරුවෙකි.

සෙංකොට්ටන් කතාවේ ප්‍රධාන දුර්වලතා මතුවන්නේ දෙවන කොටසේ දී ය. සැලැකිල්ලකින් තොර ව අවසානය දක්වා වේගයෙන් ගමන් කරන බවක් පෙනෙන්නට තිබේ. මුල් භාගයේ පැවැති හේතු යුක්ති බව, නිර්මාණශීලී බව අවසන් කොටසේ දී ගිලිහී ගොස් තිබේ. ඒ නිසා ම මස්ඉඹුලගේ නවකතාව මුළුමනින් බැහැර කළ හැකි නො වේ.

මේ කතාව ගැන විවිධ විවේචන එල්ල වන්නට පුළුවන. සම්මාන ප්‍රදානවලින් ප්‍රතික්ෂේප වන්නටත් පුළුවන. එහෙත් එක් ප්‍රබල සාධකයක් කිසිවකුටත් නිෂේධනය කළ නො හැකි ය. එනම්; මස්ඉඹුල අපට ගැළපෙන හා සංවාදයට ලක් කළ යුතු වැදගත් හා රසවත් ප්‍රබන්ධයක් ඉදිරිපත් කර ඇති බව ය.

ලෝකයේ විශිෂ්ට ම නවකතා පවා සර්වප්‍රකාරයෙන් සාධාරණීකරණය කළ හැක්කේ; එක්තරා සමාජ කොට්ඨාසයකට පමණි. එය මුළුමනින් ම වටහා ගත හැක්කේ ද ඒ සමාජ කොට්ඨාසයට ම පමණි. එසේ තිබිය දී අප්‍රිකානු, ලතින් අමෙරිකානු ශෛලීන් සොරාගැනීම තවදුරටත් අපගේ නවකතාකරුවන් අතර පවතී. එය සාධනීය ලක්ෂණයක් නො වේ. මස්ඉඹුල වැදගත් වන්නේ අපට උරුම හා අපට ගැළපෙන ආඛ්‍යානයක් ගොඩනැඟීමට වෑයම් කරන බැවිනි. මස්ඉඹුලගේ “සෙංකොට්ටන්” පරිපූර්ණ හා විශිෂ්ට නවකතාවක් නො වූව ද එය වැදගත් හා රසවත් ප්‍රබන්ධයක් ලෙස සලකමින් ඔහු ගැන බලාපොරොත්තු තබාගන්නට කැමැත්තෙමි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා