හරවත් නිර්මාණ තෝරාගැනීම‍ පාඨකයාගේ වැඩක්

හරවත් නිර්මාණ තෝරාගැනීම‍ පාඨකයාගේ වැඩක්

මනෝජ් ප්‍රසන්න රත්නායක

ජාත්‍යන්තර තලයේදී විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ ද, ශ්‍රී ලංකාවේ එවැනි සාහිත්‍යක නැඟීමක් පෙන්නුම් නොකරයි. එම සමාජගත ආකල්පයේ වෙනසක් ඇති කිරීම උදෙසා “මං නිට්ටෑවෙක්“ විද්‍යා ප්‍රබන්ධ නවකතාව රචනා කළ ලේඛක මනෝජ් ප්‍රසන්න රත්නායක මහතා සමත් විය. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම නව කථා ප්‍රබන්ධයට හිමි සම්මානය හිමි වීම ඔහුගේ උත්සාහය මල්ඵල ගැන්වීමට සමත් විය. හතු පිපෙන්නාක් මෙන් සාහිත්‍ය මාසය ළං වන විට ලියැවෙන නව කථා පෙළ අතර නිර්මාණාත්මක හා ගුණාත්මක නිර්මාණ බිහිවන්නේ අල්පයකි. සම්මානයට පාත්‍ර වන්නේ ඊටත් අල්පයකි. එවැනි අවස්ථාවක සිය කාලෝචිත චින්තනය සාහිත්‍ය කෙත සාරවත් කරන්නට යොදා ගැනීමට රත්නායක මහතා අදහස් කළේය. මේ ඒ පිළිබඳ කෙරෙන කතා බහකි.

* විද්‍යා ප්‍රබන්ධයක් යනු කුමක්දැයි පැහැදිලි කළොත්?

විද්‍යා ප්‍රබන්ධයක් යනුවෙන් අදහස් කරන්නේ විද්‍යාත්මකක චින්තනයේ හා සාහිත්‍ය රසාස්වාදයේ සුසංයෝගයෙන් නිර්මාණය වූ අමොද ඵලයක්. මේ පිළිබඳ පෙර අපර දෙදිග නිර්චන රැසක් තිබෙනවා. අයිසැක් ඇසිමොව් කියන විද්‍යා ප්‍රබන්ධකරු අර්ථ දක්වා තිබෙන්නේ විද්‍යාවේ හා තාක්ෂණ විචල්‍යතාවයන්ට මානවයා ප්‍රතිචාර දක්වන අයුරු විස්තර කෙරෙන සාහිත්‍යාංගය විද්‍යා ප්‍රබන්ධය ලෙසයි. “ඉතිහාසයේ ප්‍රබන්ධකරණය මඟින් විද්‍යා ප්‍රබන්ධය ගොඩ නැගේ“ යනුවෙන් අර්ථ දක්වා තිබෙන්නේ ක්‍රිස්ටෝපර් එවන්ස් මහතා.

ලංකාවේ හොඳම විද්‍යා ප්‍රබන්ධයට හිමි සාහිත්‍ය සම්මානය දිනා ගත් ලේඛකයා විද්‍යා ප්‍රබන්ධය අර්ථ දක්වා තිබුණේ අලෝකයේ වේගය ඉක්මවන වාහනනයක් හෝ ජීවියෙකු හෝ ගැන නිර්මාණයක දී සඳහන් කිරීම නුසුදුසු බවත් එය විහිළුවක් බවත් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වුවත් විද්‍යා නියම හා මතයන් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ප්‍රබන්ධයක් කියන්නේ යථාර්ථයම නොවෙයි. මේ නිසා පෙර නොවූ විරූ දේ ගැන හා නව සංකල්ප ගැන සිතන්න විද්‍යා ප්‍රබන්ධකරුවෙක් සමත් විය යුතුයි.

* මෙවැනි දුර්ලභ නිර්මාණයක් බිහි කිරීමටත්, එය සම්මානයට පාත්‍ර වීමටත් පාදක වු කරුණු මොනවාද?

අපේ රටේ බිහිවන නිර්මාණ අතුරින් ගුණාත්මක නිර්මාණ බිහිවීමේ විශාල අඩුපාඩුවක් තිබෙනවා. විද්‍යා ප්‍රබන්ධයක් යනු කුමක්ද යන්න පිළිබඳ නිශ්චිත අවබෝධයක් බොහෝ දෙනා අතර නැති බව මට වැටහුණා. විද්‍යා ප්‍රබන්ධයක් රස විඳිමට නම් උසස් මට්ටමේ විද්‍යාත්මක දැනුමක් තිබීම ප්‍රබල පිටිවහලක් වෙනවා. එසේ නම් විද්‍යා ප්‍රබන්ධයක් රචනයට හා විනිශ්චයට නම් විද්‍යාත්මක ඥානයක් අත්‍යවශ්‍යයි. එවැනි පොත පත රචනා කිරීමේ පසු බැස්මක් පවතින්නේ විද්‍යාත්මක ඥානයකින් හෙබි පුද්ගල සංඛ්‍යාවේ අඩුවක් තිබේ යැයි ලේඛකයින් අතර විශ්වාසයක් පැවැතීමයි. එවැනි පාඨකයන් බිහි කිරීමටනම්, එවැනි පොත පත ද බිහි විය යුතු බව මගේ හැඟීමයි.

* සම්මානනීය ලේඛකයෙකු බවට පත් වන්නට ඔබ පැමිණි ගමන් මඟ ගැන යමක් පැවසුවොත්?

මගේ ගම පුත්තලම මදුරන්කුලිය. ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු ලෙසත්, භාෂා පරිවර්තකයෙක් ලෙසත් මං සේවය කළා. මං අද ලේඛකයෙකු ලෙස ලබා ගෙන ඇති සාර්ථකත්වයේ පසුපස සිටින්නේ ලෙක්හවුස් සභාපති බන්ධුල පද්මකුමාර මහතා බව කෘතඥපූර්වකව මතක් කළ යුතුයි. බන්දුල පද්මකුමාර නමැති සැබෑ මනුෂ්‍යයා නැති නම්, අද මෙවැනි සාහිත්‍ය සම්මානයක් මට හිමි වන්නේ නැහැ. මේ සාහිත්‍ය සම්මානය දිනාගැනීමේ අඩිතාලම දැමුවේ එතුමායි. නැති නම් අද මම ලිපිකරුවෙක් හෝ බිල් ලියන්නෙක්. මම, දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරමින් සිටිනවා. ඊට අමතරව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළා. කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යායවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය, දර්ශනපති යන උපාධි හදාරා ආචාර්ය උපාධිය ද හදාරමින් සිටින්නේ.

* ඔබේ අනෙකුත් සාහිත්‍ය නිර්මාණ මොනවාද?

මෙහිම් නැත් නුරා නවකථාව, පශ්චාත් නූතනවාදය, විශ්ලේෂනාත්මක අධ්‍යනයක්, සංස්කෘතිය හා සාහිත්‍ය විචාරය, සංස්කෘතිය, සන්නිවේදනය හා සිනමාව යන ශාස්ත්‍රීය කෘති උසස් පෙළ ජීව විද්‍යාව, ජෛව විවිධත්වය වැනි විද්‍යා නිර්මාණ. ගෝඩ් ෆාදර් වැනි පරිවර්තන ඇතුළු තවත් කෘති කිහිපයක්.

* සම්මාන අපේක්ෂාවෙන් පොත් ලියා පළ කරන ලේඛකයින් රැසක් සිටිනවා. එපමණින් සාර්ථක ලේඛකයෙකු විය හැකි ද?

කිසි විටෙකත් බැහැ. ඇතැම් විට පාඨකයාගේ වැඩිම ප්‍රතිචාරය දිනා ගත්තත් සම්මාන නොලබන පොත් රැසක් තිබෙනවා. තම නිර්මාණය හරවත් විය යුතුයි. මේ පොත රාජ්‍ය සම්මාන දිනාගත් අවස්ථාව වෙද්දි, පොතේ අලෙවිය පහළ මට්ටමකයි තිබුණේ. එහෙත් එය සම්මානයට පාත්‍ර වුණා. පොත් ප්‍රදර්ශනය පවත්වා අවසන් වූ පසුවයි මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ. කෙසේ වුවත් හරවත් නිර්මාණ තෝරා ගැනීම පාඨකයා අතේ තිබෙන දෙයක්. පාඨකයා එවැනි නිර්මාණවලට යොමු කිරීම ලේඛකයන්ගේ වගකීමක්. “මම මේ පොත රචනා කරලා පොත පළ කරවාගන්න ග්‍රන්ථ ප්‍රකාශන ආයතන රැසකට ගියා.

ඒත් කිසිම කෙනෙක් මේ කෘතිය ඇගයීමකට ලක් කළේ නැහැ. මං ඔවුන්ට තේරුම් කළා විද්‍යා ප්‍රබන්ධයක ඇති වටිනාකම. “විද්‍ය ප්‍රබන්ධ නිර්මාණය වීමේ අඩුවක් තියෙනවා. පොතක් නැති කමටවත් මේ පොත ඇගයීමට ලක් වේවි“ කියලා මම කීවා. ඒත් කිසිදු සුභවාදී ප්‍රතිචාරයක් ලැබු‍ණේ නැහැ. අවසානයේ මගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන්නට කැමැත්ත පළ කළේ ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනයයි. මගේ විද්‍යා ප්‍රබන්ධය සම්මානනීය කෘතියක් බවට පත් වීමේ ගෞරවය ඔවුන්ට ද හිමි වනවා. අපි හැමෝම ජනතා සේවකයන්. දැනුම සම්පාදනය කිරීමේ උතුම් කර්තව්‍යටයි අපි උර දෙන්නේ. එයට සහයෝගය දීමට ග්‍රන්ථ ප්‍රකාශන ආයතනවලටත් වගකීමක් තිබෙනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා