පළමුවරට දෙවනුව දේශපාලනය

පළමුවරට දෙවනුව දේශපාලනය

අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන යනු ලබන සැලැසුම් සහගත දුෂ්ට ව්‍යාපාරයට මුහුණ දිය හැක්කේ කෙසේ ද යන්න පිළිබඳ විවිධ කතිකාවන් අදත් පවතී. මීට පෙරත් පැවැතිණි. ඕනෑම සාකච්ඡාවක දී ඒකමතිකව පිළිගැනෙන වැදගත් කාරණයක් වන්නේ රටේ සියලු දේශපාලන පක්ෂ හා ජනතා සංවිධාන මේ මොහොතේ රට ආරක්ෂා කරන ආස්ථානයක සිටිය යුතු බව ය. ස්වකීය මවුබිම ආරක්ෂා කරන පිළිවෙතක් ජනතාවට නැතිනම්; විදේශ බලවේගවලට රටේ දේශපාලනයට අත පෙවීමේ හැකියාව වැඩි වනු ඇත. ඒ පිළිබඳ අත්දැකීම් අපේ ම ඉතිහාසය තුළින් උකහා ගත හැකි ය.

වසර හාරසියකට වැඩි දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාව පාලනය කළෝ බටහිර ජාතීහු ය. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි එම ජාතීහු වෙති. පෘතුගීසි හෙවත් පරංගි ජාතිකයන් ශ්‍රී ලංකාවේ මුහුදු බඩ පළාත් අල්ලා ගත්තේ අපේ ම ජාතීන්ගේ දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් ය. පෘතුගීසීන් පලවා හැර ලන්දේසීන් සිය බලය ස්ථාපිත කරගත්තේ ද සිංහල ප්‍රභූන්ගේ දුර්වලතා හා ජනතාවගේ භේද භින්නතා ප්‍රයෝජනයට ගනිමින් ය. වඩාත් බලවත් ඉංගශ්‍රීසි ජාතිකයා මුළු ශ්‍රී ලංකාව ම යටත් කර ගත්තේ බලය සම්බන්ධයෙන් අපේ උඩරට ප්‍රභූන් අතර පැවැති අරගලය නිසා ය.

විවිධ හේතු සාධක මත ජනතාව බෙදා වෙන් කිරීම විදේශිකයාගේ උපාය මාර්ගයකි. ඉංග්‍රීසි ජාතිකයෝ එම උපාය මාර්ගයෙන් මැනැවින් ප්‍රයෝජන ගත්හ. ඔව්හු ප්‍රභූන් අතර භේද ඇති කළහ. ජනතාව අතර බෙදා වෙන් කිරීම් ඇති කළහ. පන්ති භේදයට හා කුල භේදයට උඩ ගෙඩි දුන්හ. ඒ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ ඉංග්‍රීසින්ගේ බලය තවදුරටත් ස්ථාපිත කර ගැනීම ය. ශ්‍රී ලාංකිකයාගේ සාරධර්ම, සංස්කෘතිය ආදී හර පද්ධතීන් තුළ භේදවීම්වලට ඉඩක් නැත. එබැවින් ඔව්හු එම හර පද්ධතීන් විනාශ වන තැනට කටයුතු කළහ. අවසන් වශයෙන් අපට ඉතිරි වූයේ රට ගැන හෝ ජාතිය ගැන හෝ නොසිතන ජාතියකි.

ශ්‍රී ලංකාව තුළ තරුණ නැගී සිටීම් දෙකක් දකුණේ ඇති වීමට ද, උතුරේ ත්‍රස්තවාදයක් බිහිවීමට ද, බෙදුම්වාදයක් දීර්ඝ කාලයක් තිස්සේ පැවැතීමටද ඉහත කී හේතු සාධක බලපෑවේ ය. එ පමණකින් නො නැවතී රටේ දේ්ශපාලනයට විදේශීය අත පෙවීම් ඇති වීමට ද ඉහත කී සාධක බලපෑවේ ය. මේවා පිළිබඳ ජනතාවට හොඳ වැටහීමක් ඇති වූයේ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ ය. එම ජයග්‍රහණයෙන් පසු රට හා ජාතිය ගැන අලුතින් කල්පනා කරන්නට ජනතාව පෙළැඹුණහ. එහි ප්‍රතිඵලයක් කිලිනොච්චියේ දී දැකගන්නට ලැබිණි. ඒ පෙරේදා ය.

පෙරේදා කිලිනොච්චියේ වීථිවල රැස්වූ ජනතාව බටහිර බලවේගවල කුමන්ත්‍රණයට එරෙහිව බලවත් විරෝධතාවක් දැක්වූහ. ඔවුන්ගේ සටන් පාඨය වූයේ අපට රටේ නිදහස් ලෙස ජීවත්වීමට ඉඩ දෙනු යන්නය. නැතහොත් දිනාගත් නිදහස ආරක්ෂා කිරීමට ඉඩ දෙනු යන්නය. මේ විරෝධතාව සඳහා කිසිදු භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඒකරාශී වී උන්හ. ඔවුන්ගේ සංවිධාන එම විරෝධතාව සංවිධානය කර තිබිණි. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ උතුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන සමිතිය. උතුරේ එදා පැවැති තත්ත්වය මුළු ලෝකයම දනිති.

උතුර හා නැඟෙනහිර පාලනය වූයේ මිනීමරු එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙතින් ය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායකයෝ පොදු ජනයාගේ ආර්ථිකය, අධ්‍යාපනය, දේශපාලනය හා සමාජමය කටයුතු ද බලහත්කාරයෙන් තමන් වෙත පවරා ගත්හ. කොටි සංවිධානය ප්‍රකට වූයේ ලෝකයේ ම්ලේච්ඡම ත්‍රස්ත සංවිධානය ලෙස ය. ප්‍රචණ්ඩත්වය අතින් කොටි සංවිධානයට ලෝකයේ පළමු තැන ලබා දී ඇත්තේ අමෙරිකාවම ය. නූතන අමෙරිකාවට ඉතිහාසය මතක නැත.

නැතහොත් හිතාමතාම ඉතිහාසය අමතක කරන බවක් පෙනෙන්නට තිබේ. කොටි සංවිධානය තම ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනයට තිත තබමින් ඔවුන් යුද පුහුණුව සඳහා යොමු කළේ ය. කොටි සංවිධානයේ නොනිල පාලනය යටතේ උතුරේත් - නැඟෙනහිරත් ඇති වූ මානව හිමිකම් උල්ලංඝනය වීම් තවම ගණනය කර නැත.

අද මේ පළාත්වල ජනතාව නිදහස් ජීවිත ගත කරති. ඔවුන්ට ත්‍රස්ත බලපෑමක් නැත. යුද්ධයේ බලපෑමක් නැත. කඳවුරුවල ජීවත් වූ ජනතාව යළි තමන්ගේ ගම් - බිම්වල පදිංචි කර ඇත. එම පළාත්වල නිවාස සංවර්ධනය, මහාමාර්ග සංවර්ධනය, විදුලිය සැපයීම ඇතුළු පොදු පහසුකම් සංවර්ධනය විස්මයජනක බව විදේශ නියෝජිතයෝම ප්‍රකාශ කර සිටිති. එහෙත් ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා එල්ල කරන අය උතුරට හෝ නැඟෙනහිරට හෝ පැමිණ අලුත් වෙනස නොබලති. එම වෙනස නොදැක විවිධ විවේචන පමණක් එල්ල කිරීම ඔවුන්ගේ උපයා මාර්ගය වී තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණ උතුර හා නැඟෙනහිර පළාත්වල සංචාරයකොට මෙරට මානව හිමිකම් ගැන විවේචන ඉදිරිපත් කරන්නැ’යි රජය විවෘත ආරාධනාවක් කර තිබේ. එහෙත් මානව හිමිකම් කොමිසමේ මහා කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දෙමළ දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. එහෙත් ඔව්හු විවේචන ඉදිරිපත් කරති. විරෝධතා ඉදිරිපත් කරති. මෙය කොතෙක් දුරට සාධාරණදැ’යි මානව හිමිකම් කොමිසමට අයත් රාජ්‍යයන් කල්පනා කළ යුතුය.

මේ අතින් බලන විට කිලිනොච්චියේ ජනතාව ඉතා හොඳ ආදර්ශයක් ලබා දී තිබේ. අපට අපේ රට ගැන තීන්දු ගැනීමට අයිතියක් තිබිය යුතු ය. ඒ අයිතිය අපෙන් උදුරා ගැනීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත. පළමුව රට යන ආදර්ශ පාඨය අප සියලු දෙනාගේම සටන් පාඨයක් බවට පත්විය යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා