‘මාළිගාවත්ත වකුගඩු රෝහලේ කිසිදු බද්ධ කිරීමක් මේ වන තෙක් සිදු කර නෑ’

‘මාළිගාවත්ත වකුගඩු රෝහලේ කිසිදු බද්ධ කිරීමක් මේ වන තෙක් සිදු කර නෑ’

මාළිගාවත්ත ජාතික වෘක්කවේද කාන්දු පෙරණ හා බද්ධ කිරීමේ මධ්‍යස්ථානය (වකුගඩු රෝහල) ආරම්භ කර වසර තුනක් ගත වුවත් කිසිදු වකුගඩු බද්ධ කිරීමක් මේ වන තෙක් සිදු කර නොමැත.

වකුගඩු බද්ධ කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය, වෛද්‍ය උපකරණ ඇතුළු සියලු පහසුකම් රෝහල සතුව පැවැති‍යත් මෙතෙක් එක් බද්ධ කිරීමක්වත් සිදු කර නොමැත්තේ වෛද්‍යවරු හා හෙදියන් අතර පවත්නා කාමර බෙදා ගැනීමට නොහැකි ගැටලුව නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසුවේය.

රුපියල් මිලියන 450 ක් වියදම් කර සැත්කම් සිදු කිරීම සඳහා ‍අවශ්‍ය වෛද්‍ය උපකරණ සියල්ල ස්ථාපිත කර මහල් හයකින් සමන්විතව රෝහල ඉදි කර ඇත.

වකුගඩු බද්ධ කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරු 8ක්, සාමාන්‍ය වෛද්‍යවරු 30ක්, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලය රෝහලේ සේවය කරති.

රෝහලේ වකුගඩු බද්ධ කිරීම ආරම්භ කළ විට දිනකට බද්ධ කිරීම් දෙකක් හෝ තුනක් සිදු කළ හැකි බවත් මසකට බද්ධ කිරීම් 40ක් සිදු කළ හැකි බවත් ඔහු පැවැසුවේය.

මහජනතාවගේ මුදල් කෝටි ගණනක් වැය කරමින් ඉදි කර ඇති ජාතික වකුගඩු රෝහලේ කාමර ප්‍රශ්නයක් නිසා කිසිදු වකුගඩු බද්ධ කිරීමක් සිදු නොකිරීමෙන් රෝගීන් සිය ගණනක් මේ වන විටත් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් ද, වකුගඩු ශල්‍ය වෛද්‍යවරු තිදෙනෙක් ද, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් ද, කායික විශේෂඥ වෛද්‍යවරයෙක් ද ලෙස විශේෂඥ වෛද්‍යවරු අටදෙනකු රෝහලේ කාර්ය මණ්ඩලයේ සිටිති. ශල්‍යාගාර, එක්ස් රේ, රසායනාගාර පහසුකම් ඇතුළු ‍සියලු වෛද්‍ය පහසුකම්වලින් රෝහල සමන්විත වේ.

රෝහල ඉදිකිරීමේ මූලික සැලැස්මේ වෛද්‍ය කැඳවුම් කාමර 6ක් වෛද්‍යවරුන්ට වෙන් කර තිබේ. එම කාමර හයෙන් තුනක් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුට ද, ඉතිරි කාමර තුන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියට ද, වාට්ටු බාර හෙද නිලධාරිනියට ද, හෙදියන්ට ද ලෙස ලබා දී ඇත. හෙද කාර්ය මණ්ඩලය මේ කාමර ඇඳුම් මාරු කර ගැනීම සඳහා පමණක් භාවිතා කෙරේ. විනාඩි 15ක් වැනි ඉතා සුළු වේලාවකට මේ කාමර භාවිතා කිරීම රෝගීන්ට කරන අසාධාරණයක් බව රෝහලේ වෛද්‍යවරු පවසති.

වකුගඩු බද්ධ කිරීමක් සඳහා වෛද්‍යවරු පහක් හෝ හයක් රාජකාරි කැඳවුම් වෛද්‍යවරු (On call) ලෙස රෝහලේ රාත්‍රි‍ සේවාව කළ යුතුය. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා, වකුගඩු රෝග සම්බන්ධ වෛද්‍යවරු, සැත්කම සිදු කළ කණ්ඩා‍යමේ වෛද්‍යවරයෙක්, දැඩි සත්කාර ඒකකය බාර වෛද්‍යවරයකු ඇතුළු කැඳවුම් රාජකාරි වෛද්‍යවරු සිටිය යුතු ය. පැය 24 පුරා සේවය කරන වෛද්‍යවරුන්ට නවාතැන් ගැනීම සඳහා ස්ථානයක් නොමැතිකම මේ ගැටලුවට ප්‍රධාන හේතුව වී ඇත.

හෙද කාර්ය මණ්ඩලයට මේ කාමර තුන ලබාදී ඇත්තේ සැත්කමක් සිදු කළ දිනයේදී අඳාළ අංශයේ සේවය කරන වෛද්‍යවරු සඳහා කාමර ලබාදීමට කැමැති බව දක්වමින් ලිඛිත පොරොන්දුවක් අත්සන් කිරීමෙන් බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේය.

එහෙත් දැන් ඔවුන් කිසිදු අයුරකින් මේ කාමර අඳාළ අංශයේ සේවය කරන වෛද්‍යවරුන්ට ලබාදීමට අකමැති බව ප්‍රකාශ කර තිබේ. මේ හේතුව නිසා රෝහලේ සිදු කළ යුතු බද්ධ කිරීම් නතර වීම ජාතික අපරාධයක් බවට පත්ව තිබේ.

හදිසි අනතුරකින් මිය ගිය පුද්ගලයකුගේ වකුගඩු දෙකක් පෙරේදා දිනයේදී රෝහලට ලැබුණු බවත් බද්ධ කිරීම් සිදු නොකිරිම හේතුවෙන් එම වකුගඩු දෙක මහනුවර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයට යැවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා