ගුවන් තැපැල් මෙහෙයුම යළිත් තැපෑලටම

ගුවන් තැපැල් මෙහෙයුම යළිත් තැපෑලටම

ශ්‍රී ලංකා තැපෑල ගුවන් තැපැල් මෙහෙයුම නැවත පවරා ගත් අතර පෞද්ගලික සමාගමක් විසින් සිදු කළ එම සේවය අත්හිටවූ බව තැපැල් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එහි මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකා තැපෑල මෙතෙක් ගුවන් මඟින් ලිපි හා පාර්සල් යැවීමේ සේවාව පවත්වාගනු ලැබූවත්, මාර්තු 01 වන දා සිට එහි සේවය පෞද්ගලික සමාගමක් වෙත පවරනු ලැබිණ. මෙම සේවාව පවත්වාගෙන යාම පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීම සඳහා 2007 වර්ෂයේ සිට තැපැල් දෙපාර්තමේන්තුව මඟින් කරුණු සොයා බැලීමක් සිදුකර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ දැනට මෙම සේවාව පවත්වාගෙන යෑම පෞද්ගලික අංශය වෙත පැවරීමෙන් බිලියන 75ක ඍජු වාර්ෂික මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකිවන බවයි.

එසේම එම සේවාව නිසි පරිදි පවත්වාගෙන යන්නේ ජාත්‍යන්තර තැපෑල මඟින් සිදුකරනු ලබන දඩ හා අනෙකුත් ප්‍රමාද ගාස්තු අවම වීමෙන් තවත් රුපියල් මිලියන 50ක මුදලක් වාර්ෂිකව ඉතිරි කරගැනීමට හැකිවීම බවයි.

එහෙයින් මෙම සේවාව පෞද්ගලික අංශයේ සුදුසු සේවා සපයන්නෙකු සේවාව සපයා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත කැබිනට් අනු කමිටුව මඟින් ටෙන්ඩර් සලසා බැලීමෙන් අනතුරුව දැනට ක්‍රියාත්මක පෞද්ගලික සමාගම වෙත පසුගිය 01 වන දා සිට ගුවන් තැපෑල පවත්වාගෙන යාමට පවරන ලදී.

එහෙත් මෙම සමාගම කටයුතු ආරම්භ කිරීමත් සමඟ ගුවන් තැපෑලේ මෙහෙයුම් කටයුතු අඩාල වීමක් සිදුවූ අතර, මේ පිළිබඳ අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා තැපැල්පති රෝහණ අබේරත්න යන නිලධාරීන් විසින් සිදුකරන ලද සාකච්ඡා වලදී අනාවරණය වී ඇත්තේ මෙම සමාගම නව මෙහෙයුම් ක්‍රමවේද හඳුන්වාදීමට යාමත්, ඇතැම් ගුවන් සමාගම් සමඟ ඔවුන් ඍජු සම්බන්ධතා නොපැවැත්වීමත්, ගුවන් හුවමාරු කටයුතු, ගුවන් හුවමාරු මධ්‍යස්ථාන නිවැරැදිව තෝරා නොගැනීමත්, නිසා මේ අර්බුදකාරී තත්ත්වය උද්ගත වී ඇති බවයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා