පාසල්වල හිතු මනාපේ මුදල් එකතු කිරීමට බෑ

පාසල්වල හිතු මනාපේ මුදල් එකතු කිරීමට බෑ

අධ්‍යාපන අමාත්‍යාංශ­‍යෙන් නව චක්‍රලේඛයක්

පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (13) චක්‍රලේඛයක් නිකුත් කළේය.

2013 පෙබරවාරි 13 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විවිධ කාර්යයන් සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ජාතික හා පළාත් පාසල්වලට දුන් උපදෙස්වලට අනුව මේ චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා පැවැසීය.

පාසල්වල මවුපියන් හා ආදිශිෂ්‍ය සංගම් විවිධ ව්‍යාපෘති සඳහා නීතිවිරෝධී ලෙස මුදල් එකතු කිරීම මේ මඟින් සපුරා තහනම් වෙයි.

1975 අංක 57/75 දරන පහසුකම් හා සේවා ගාස්තු චක්‍රලේඛය, 1983.03.30 දිනැති පාසල් සංවර්ධන සමිති චක්‍රලේඛය, 2008.11.03 ආදිශිෂ්‍ය සංගම්, වෙනත් සංගම්වල ක්‍රියාකාරිකම්වලට අදාළව නිකුත් කළ චක්‍රලේඛය, 2008 පාසල් නගාසිටුවීමට අදාළ චක්‍රලේඛය, 2008 පාසල්වල උසස් පෙළ පංති සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ චක්‍රලේඛය, 2008 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන චක්‍රලේඛය හා 2012 දක්වා ඇති ගාස්තු පමණක් අය කළ යුතු බවට නිකුත් කළ චක්‍රලේඛයන්ට අදාළ මුදල් පමණක් එකතු කිරීමට හැකි වේ.

මේ අනුව නීත්‍යානුකූල ගාස්තු ගෙවීමට වුවද දෙමාපියන්ට හා සිසුන්ට අනිවාර්ය බලකිරීමක් නොකළ යුතු අතර නීත්‍යානුකූල ගාස්තු ගෙවීමට අපහසු සිසුන් ග්‍රාම නිලධාරින් මඟින් මේ බව තහවුරු කළ විට සියලු ගෙවීම්වලින් මේ සිසුන් නිදහස් කළ යුතු අතර ඒ බව ලිඛිතව දරුවන්ගේ දෙමාපියන් වෙත දන්වා යැවිය යුතුයි.

ගාස්තු නොගෙවන අවස්ථාවක කිසියම් ආකාරයක කායික මානසික පීඩාවන්ට සිසුන් ලක් නොකළ යුතුය. මෙම චක්‍රලේඛයට අනුව කිසිදු අවස්ථාවක චක්‍රලේඛය උල්ලංඝනය කරමින් මුදල් ඉපයීම නොකළ යුතු අතර එම උපදෙස් නොසලකා නීතිවිරෝධීව කටයුතු කරන විදුහල්පතිවරුන් ගුරුවරුන් පාසල් පද්ධතිය තුළ සිටින වෙනත් කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව දැඩි පියවර ගන්නා බවද ලේකම්වරයා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා