ශිරාණි අල්ලස් කොමිසම හමුවට

රැකියාවෙන් ඉපැයිය නොහැකි තරම් වත්කම් උපයා ගත්තේ කෙසේද?

ශිරාණි අල්ලස් කොමිසම හමුවට

රාජ්‍ය සේවයේ යෙදී සිටියදී විවිධ අල්ලස් දූෂණ ක්‍රම ඔස්සේ ධනය උපයලා

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව නිලධාරීහු විමර්ශන අරඹති

පැමිණිල්ලේ කරුණු ඔප්පු වුවහොත් නඩු පැවරීමට පියවර

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියට කැඳවේ.

රාජ්‍ය සේවයේ යෙදී සිටියදී අයථා ලෙස ධනය උපයා ඇතැයි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව එල්ල වී ඇති පැමිණිල්ලක් අනුව ලබන සදා (18දා) කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසට ඇයට මේ දැනුම් දීම සිදු කොට තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හිටපු අගවිනිසුරුවරිය එසේ කැඳවා ඇත්තේ ඇයගෙන් එම පැමිණිල්ලට අදාළව කට උත්තරයක් ලබා ගැනීම සඳහාය. රාජ්‍ය සේවයේ යෙදී සිටියදී ඉපයිය නොහැකි තරම් වූ වත්කමක් ඇය සතුව ඇති බවත් ඒවා විවිධ අල්ලස් දූෂණ ක්‍රම ඔස්සේ උපයා ඇති බවටත් ‍එම අල්ලස් පැමිණිල්ලේ සඳහන් වෙයි.

මෙම පැමිණිල්ල සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් විමර්ශනයක් කර තිබේ. එම විමර්ශනයෙන් අනතුරුව හෙළි කරගත් තොරතුරු පිළිබඳව බණ්ඩාරනායක මහත්මියගෙන් කට උත්තර ලබා ගැනීම මෙදින සිදු කෙරේ.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව එල්ල වී ඇති අල්ලස් පැමිණිල්ලේ සඳහන් සවිස්තර කරුණු මොනවාද යන්න විමසුවත් අල්ලස් කොමිසමේ සභාපති විශ්‍රාමලත් ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තොරතුරු රහස්‍යභාවයෙන් යුතු බැවින් දැනට මාධ්‍යයට හෙළි කළ නොහැකි බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා