ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීයයි

ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීයයි

ජපානය කියයි

ගැටුම් අවසාන වීමෙන් පසුව ප්‍රතිසංස්කරණය, සංහිඳියාව සහ මානව හිමිකම් යන ක්ෂේත්‍රවල සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරා ඇති ප්‍රයත්නය පිළිබඳ ජපානය ප්‍රසාදය පළ කරන බව එරට විදේශ කටයුතු පිළිබඳ ඇමැති ෆුමියෝ කිශිඩා මහතා පැවසීය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ එරට සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (13) මුණගැසුණු අවස්ථාවේදීය.

දෙවසරකට පෙර ජපානයේ සිදු වූ භූමිකම්පාවෙන් හා සුනාමියෙන් පසුව ශ්‍රී ලංකාව ලබාදුන් සියලූ සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ස්තුතිය පළ කළ ජපාන විදේශ ඇමැතිවරයා ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ චාරිකාව දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමට ඉවහල් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

2004 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට සුනාමියෙන් හානි සිදු වූ අවස්ථාවේ දී ලබාදුන් සහයෝගීතාව සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ජපානයට හා එහි ජනතාවට කෘතඥතාව පළ කළේය. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ විස්තර කළ එතුමා යාපනයේ නව රෝහල් පහසුකම් කටයුතු සඳහා ජපානයෙන් ලබා දෙන ලද ආධාර සම්බන්ධයෙන් ද තම ස්තුතිය පළ කර සිටියේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා නිරතුරුව ජපානයේ ආධාර ලබා දෙන බවට විදේශ අමාත්‍යවරයා මෙහිදී සහතික විය.මේ අතර ජපාන නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික හා විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති කත්සුයුකි කවායි මහතා ජනාධිපති රාජපක්‍ෂ මහතා ඊයේ හමුවිය. පසුගිය කාලය තුළ දී ශ්‍රී ලංකාව අතිවිශිෂ්ට ප්‍රගතියක් ලබා ඇතැයි කවායි මහතා පැවසීය. මෙම ප්‍රගතිය ජනාධිපතිතුමාගේ නායකත්වයේ ප්‍රතිඵලයක් යැයි හෙතෙම සඳහන් කළේය.

නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා