කාබනික පොහොර යොදන වී කිලෝවකට රුපියල් 45ක්

කාබනික පොහොර යොදන වී කිලෝවකට රුපියල් 45ක්

කුඹුරුවල කාබනික පොහොර යොදා අස්වනු ලබා ගන්නා වී සඳහා ලබන යල් කන්නයේ සිට වී කිලෝවකට රුපියල් හතළිස් පහක (45) මුදලක් ගෙවා මිලදී ගැනීමට රජය පියවර ගනියි.

මෙහි මූලික අදියර යටතේ කාබනික පොහොර බෙදා දීම සහ කාබනික පොහොර නිෂ්පාදනය කිසියම් උපාංග බෙදා දීම හොරොව්පොතානේ දී ආරම්භ කෙරිණ. මහින්ද චින්තනයට අනුව 'අපි වවමු රට නගමු' තේමාව යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන හා ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සමරකෝන් මහත්වරු පසුගියදා මේ වැඩපිළිවෙළ ආරම්භ කළහ.

ගොවීන් දහසක් (1000) සඳහා කාබනික පොහොර සහ නිෂ්පාදන කට්ටල බෙදා දීම අමාත්‍යවරුන් විසින් සිදු කළ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් පහළොස් දහසක් මේ ව්‍යාපෘතියට යොමු කිරීම අරමුණ වී තිබේ. වකුගඩු රෝගයට බලපාන රසායනික පොහොරෙන් ගොවියා ඉවත් කර කාබනික පොහොර හුරු කර වකුගඩු රෝගයෙන් ගොවියා බේරා ගැනීමද මේ ව්‍යාපෘතියේ අරමුණ ‍බව චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

රජය මඟින් දැනට රසායන පොහොර යොදා ගන්නා වී කිලෝවක සඳහා රුපියල් තිස් දෙකක මුදලකට (32) රජය මිලදී ගන්නා අතර කාබනික පොහොර යොදා ලබා ගන්නා වී කිලෝවක් සඳහා රුපියල් හතළිස් පහක් (45) ගෙවීම තුළින් ගොවියාට රුපියල් දහතුනක (13) ලාබයක් මෙන්ම රසායනික පොහොර යෙදීමට වඩා මේ තුළින් අක්කරයකට වී බුසල් 25 - 50 ත් අතර ප්‍රමාණයක වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ දී ගොවීන් සියයකට (100) කපුගොල්ලෑවේ දී ගොවීන් (350) වාහල්කඩදී ගොවීන් පන්සිය හැත්තෑවකට (570) උපකරණ බෙදා දීම සිදු කළහ. ඉදිරියේදී ලංකාව පුරා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. කැමති ඕනෑම ගොවීන්ට මේ සඳහා එක්විය හැකිවීමද විශේෂත්වයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා