පොදුරද මඩුලු ශ්‍රී ලංකා සමුළුව සාමූහික තීරණයක්

පොදුරද මඩුලු ශ්‍රී ලංකා සමුළුව සාමූහික තීරණයක්

පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය කියයි

මේ වසරේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට වශයෙන් ශ්‍රී ලංකාව ක්‍රියාකරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් විසින් ගත් සාමුහික තීරණයකට අනුව බව පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය පවසයි.

2007 වසරේදී උගන්ඩාවේ කම්පාලා නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපති ධුරය ශ්‍රී ලංකාවට ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වූ නමුත් ඔස්ට්‍රේලියානු අගමැති විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එය පසුගිය 2011 වසරේදී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැති බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සඳහන් කරයි. මේ අතර එම මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වන්නේ ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවකට අනුව බවයි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී ගත් තීරණයක් අනුව මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය වූ බවද එම කාර්යාලය කියාසිටී.

ඒ අනුව මේ වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව නොවැම්බර් මස 15, 16 සහ 17 දිනයන්හි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශව විවිධ මත පළ කරමින් සිටින අතර ජාත්‍යන්තරය විසින් මානව හිමිකම් චෝදනා එල්ල කිරීම ඊට හේතු වී තිබේ.

රටවල් රැසක් මෙම සමුළුවට සහභාගී වීම සඳහා කැමැත්ත පළ කොට ඇති අතර ඇතැම් රටවල් එයට විරුද්ධත්වය ප්‍රකාශකර තිබෙන බවද පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය කියයි. ලබන 2015 දී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මොරිසස්වලදී පැවැත්වීමට තීරණයකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා