නාවික හමුදාවෙන් තරු පන්තියේ අවන්හල් 10ක්

නාවික හමුදාවෙන් තරු පන්තියේ අවන්හල් 10ක්

සුඛෝපභෝගී තරු පන්තියේ හෝටල්වල අත්විඳිය හැකි සියලු පහසුකම් වලින් යුතු අවන්හල් හා සංචාරක නිවාඩු නිකේතන දහයක් නාවික හමුදාව මේ වන විට රටේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ.

කොළඹ, උස්වැටකෙයියාව, දියවන්නාව, ත්‍රිකුණාමලය, මිරිස්ස, යාපනය හා පානම ප්‍රදේශවල ස්වභාව සෞන්දර්ය හොඳින් අත්විඳිය හැකි පරිසරයේ මේවා ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

පෙර අපර දෙදිග සංගීත සහ නර්තනයන් සංකලනය කොට නාවික සම්ප්‍රදායට අනුගතව නාවික හමුදා තූර්ය වාදක සහ සංස්කෘතික කණ්ඩායම ඉදිරිපත් කරන නාවික සංස්කෘතික පෙළහර නම් විශේෂාංගය කොළඹ ප්‍රදීපාගාර පරිශ්‍රයේ ඇති ලයිට් හවුස් ගැලි සුපිරි අවන්හලේදී සංචාරකයන්ට අත්විඳිය හැක.

තලෙයිමන්නාරම දූපත ආසන්නයේ පිහිටා ඇති ආදම්ගේ පාලම නමැති දර්ශනීය වැලිපරය නැරඹීමට එන්නන් වෙනුවෙන් මුහුදු චාරිකා මෙන්ම නැවතීම හා ආහාර පාන ලබා ගැනීමට 'ඇඩම්ස් බිජ් විව් හා ෆියර් විව් නමින් අවන්හල් දෙකක් ස්ථාපිත කර තිබේ. ත්‍රිකුණාමලය සෝබර් දූපතේ ඉපැරණි ගොඩනැඟිලි කාලානුරූපීව නවීකරණය කර සංචාරක නිකේතන බවට පත් කර ඇත.

යාපනය, කංකසන්තුරේ, හාබර් විව් නමින් ද කරෙයිනගර් හි පැරණි ලන්දේසි බල කොටුවේ ෆෝට් හැවන්හිල් නමින්ද නිවාඩු නිකේතන සකසා තිබේ. පානම හා වැලිගම මිරිස්ස පෙම් උයන් වත්තේ ද අංග සම්පූර්ණ සම්භාෂණ ශාලා සහිත නිවාඩු නිකේතන දෙකක් ස්ථාපිත කර ඇත. දියවන්නා ජලාශයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නව පා වෙන අවන්හලක්ද පවත්වාගෙන යයි.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා