චැනල් 4 නාලිකාවේ නාඩගම්වලට ශ්‍රී ලංකාව සාර්ථකව පිළිතුරු දෙයි

චැනල් 4 නාලිකාවේ නාඩගම්වලට ශ්‍රී ලංකාව සාර්ථකව පිළිතුරු දෙයි

බ්‍රිතාන්‍යයේ අන් කිසිදු නාලිකාවකට නොමැති "රුදාවක්" විහින් ඇති කර ගෙන ශ්‍රී ලංකාවට අත පෙවීමට උත්සාහ කරන චැනල් 4 නාලිකාවේ නාඩගම් සහ ක්‍රියාකාරකම් සඳහා ශ්‍රී ලංකාව සාර්ථක ලෙස පිළිතුරු දෙයි.

පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තිය සඳහා බ්‍රිතාන්‍ය මහ රැජින විසින් අත්සන් තැබීම සම්බන්ධ ප්‍රවෘත්තිය පසුබිම් කරගෙන චැනල් 4 නාලිකාව උත්සාහ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ යහපාලනයක් නොමැති බව සහ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කිරීමට වන අතර, ඒ සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ප්‍රතිචාර දක්වා තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බ්‍රිතාන්‍යයේ මහ රැජින සහභාගී වූ උත්සවයක දී එහි සඳහන් තොරතුරු අබිබවා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම නුසුදුසු යැයි සඳහන් කරමින් විවිධ ප්‍රශ්න මතු කර දැක්වීමට බ්‍රිතාන්‍යය චැනල් 4 නාලිකාව දැඩි උත්සාහයක් ගෙන තිබෙන අතර ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීම සිදුකර තිබේ.

එම අවස්ථාවට සිය බිරිඳ සමඟ පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා මහතාගෙන් ද ප්‍රශ්න කිරීමට ඔවුන් ගත් උත්සාහය සාර්ථක වී නොමැති අතර ඒ අවස්ථාවේ දී ම එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා මහා කොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා මාධ්‍ය නැඟු සියලු ප්‍රශ්න වලට පැහැදිලි පිලිතුරු ලබා දී ඇත.

චැනල් 4 මාධ්‍යවේදියා පුන පුනා ප්‍රශ්න කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් පමණක් බව ද මෙරට මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් වත්මන් රජය දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ. මෙහිදී වාර්තාකරු දිඟින් දිඟටම ප්‍රශ්න කර තිබෙන අතර ඒ සියල්ලට ම නෝනිස් මහතා සාර්ථකව ප්‍රතිචාර දක්වා තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

"ඔබ සියලු දෙනාට ම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අපූරු සංහිඳියා සහ පුනරුත්ථාපන වැඩළිවෙල සම්බන්ධයෙන් අපක්ෂපාතී නිගමනයක් ලබාගන්න එය හොඳ අවස්ථාවක් වේවි. මේ දේවල් ගැන වපර ඇහෙන් බලන එක මේ වගේ ආයතනයකට වටින්නේ නැහැ" යනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා පවසා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා