බටහිර ජාතීන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය අවතක්සේරු කරනවා

බටහිර ජාතීන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය අවතක්සේරු කරනවා

ජපාන නියෝජ්‍ය අගමැති

ගැටුම අවසන් වූ තැන් පටන් ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති සංවර්ධනය බටහිර ජාතීන් අවතක්සේරු කර ඇතැයි ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තාරෝ අසෝ මහතා පවසයි.

අසෝ මැතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ (13) පස්වරුවේ නිවී ඔටානි හෝටලයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳුදා සිට ජපානයේ සිව්දින නිල චාරිකාවක නිරතව සිටී.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන අසෝ මහතා වර්තමානයේ මුදල් අමාත්‍ය ධුරය ද හොබවයි.

“ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතී. ආර්ථිකය නිවැරදි මාර්ගයේ ගමන් කරයි. ආයෝජකයෝ හා සංචාරකයෝ රටට පැමිණෙති” යැයි ද එතුමා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ජපානය ලබා දෙන සහයෝගයට ස්තුති කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෑතකාලීනව සියලුම අංශයන්හි ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සියැසින් දැකබලා ගැනීමට ලෝක නායකයන් හා ජනතාව ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බව ද පැවැසීය.

ජපාන ආරක්‍ෂක ඇමැති ඉත්සුනෝරි ඔනොඩෙරා මහතාද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය. මීට වසර කිහිපයකට පෙර තමා ජයිකා ස්වේච්ඡා සේවකයකු ලෙස ශ්‍රී ලංකාවේදී කටයුතු කළ බව ඔනොඩෙරා මහතා සිහිපත් කළේය.

“දැන් ගැටුම අවසන්. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ශූර නායකත්වය යටතේ ශ්‍රී ලංකාව විශිෂ්ට දියුණුවක් ලබා ඇතැයි” ද ජපාන ආරක්‍ෂක ඇමැතිවරයා පැවැසීය. තානාපති යසුෂි අකාෂි මහතා පෞද්ගලික දිවා භෝජන සංග්‍රහයක දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවිය.

මෙම සංචාරයේ දී ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමටත්, ජපාන අධිරාජයා සහ අධිරාජිනිය බැහැදැකීමටත් නියමිතය. ඔවුන් විසින් ජනාධිපතිතුමා සහ ආර්යාව වෙනුවෙන් අධිරාජ්‍ය මාලිගයේ දී දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිතය.

ජපාන අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් සමඟ කරන ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව රාජපක්‍ෂ මහතා ජපන් - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මණ්ඩලයේ රැස්වීමකට සහභාගී වීමට ද නියමිතය.

නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම්. ෆවුසි, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ යන මහත්වරු ද මේ සාකච්ඡාවලට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා