සන්ධානයේ රට නඟන මැයි රැල්ල කැම්බල් පිටියේදී

සන්ධානයේ රට නඟන මැයි රැල්ල කැම්බල් පිටියේදී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රට නඟන මැයි රැල්ල ලෝක මැයි දින සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී මැයි මස 01 දින සවස 3.00 ට පැවැත්වේ.

දහවල් 12. 30ට කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල අසලින් ඇරැඹෙන පෙළපාලිය ඩී. එස්. හන්දිය, බේස්ලයින් මාවත හරහා කැම්බල් පිටිය වෙත පැමිණිමට නියමිත බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

කම්කරු ජනතාව වෙනුවෙන් කවදත් පෙනී සිටින නායකයකු වශයෙන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මෙවර මැයි දිනය සැමරීමට වෘත්තීය සමිති සූදානමින් සිටින බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ මැයි දිනය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පඩි පාලක සභා, වෘත්තීය සමිති හා කම්කරු අමාත්‍යාංශය එක්ව සියයට 40ක වැටුප් වැඩි වීමකට අවස්ථාව උදා වී ඇති මොහොතක මෙවර මැයි දිනය සැමරීමට කටයුතු යොදා තිබෙන බව පැවසූ ඇමැතිවරයා පඩි පාලක සභාවලට අයත් නැති ක්ෂේත්‍රවලට ද පඩි පාලක සභා පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් පැවසීය.

කොන්ත්‍රාත් පදනමෙන් සේවය කරන පිරිසගේ රැකියා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකශ කළේය. විදුලි බිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ ඒකක 90 සීමාව 120 ගෙන එන ලෙසට වැඩ කරන පන්තිය වෙනුවෙන් රජයෙන් ඉල්ලා ඇති බවයි.

එසේම විදුලි බිල පාලනයට දීර්ඝකාලීන විසැඳුමක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පක්ෂ වෙනම මැයි රැලි පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවේ එය මේ වතාවේ පමණක් සිදු වන්නක් නොවන බවයි. සන්ධානයේ සහෝදර දේශපාලන පක්ෂ මීට පෙරත් තම තමන්ගේ පක්ෂවල අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් වෙනම මැයි රැලි පැවැත් වූ බවත් ඇමැතිවරයා කීවේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහත්වරු ද මෙහිදී අදහස් දැක් වුහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා