රු. කෝටි 3ක ගබ්සා එන්නත් තොගය අත්අඩංගුවේ

රු. කෝටි 3ක ගබ්සා එන්නත් තොගය අත්අඩංගුවේ

මෙතෙක් වාර්තාවන විශාලතම ප්‍රමාණයයි

මෙතෙක් වාර්තාවන විශාලතම ගබ්සා එන්නත් තොගය පසුගිය සිකුරාදා (26) ශ්‍රී ලංකා රේගුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ඩිප්ලොවේරා එන්නත් තොගයේ වටිනාකම රුපියල් කෝටි 3කි.

අර්තාපල් අඩංගු කන්ටේනර් තුනක් ගෙන්වන මුවාවෙන් මේ නීති විරෝධී ගබ්සා තොගය මෙරටට ගෙන්වා ඇත්තේ පාකිස්තාන් ජාතිකයෙකි.

අල ටොන් 66ක් බහාලූ කන්ටේනර් තුනක් පකිස්තානයේ සිට ගෙන්වා ඇති අතර මේ කන්ටේනර් තුන පිළිබඳ සැක සිතී රේගු ආදායම් අධීක්ෂණ අංශය පරීක්ෂා කිරීමේදී තුන්වන කන්ටේනරයේ කෙළවර ගබ්සා එන්නත් 30000 අඩංගු ගෝනි 15ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙයට සති දෙකකට පෙර මේ කන්ටේනර් ‍නවත්වා පසුගිය සිකුරාදා (26) පරීක්ෂා කළ බවත් පළමු කන්ටේනර් දෙක පරීක්ෂා කරන තුරු අදාළ පකිස්තාන් ජාතිකයා රැඳී සිටි බවත් රේගු අධ්‍යක්ෂක මාලි පියසේන මහතා දිනමිණට පැවසූ අතර අවසන් කන්ටේනරය පරීක්ෂා කිරීමේදී පකිස්තානු ජාතිකයා පැමිණියේ නැති බවත් කීය.

අදාළ වාප්පු ලිපිකරු රේගු අත්අඩංගුවේ පසුවන අතර පකිස්තානු ජාතිකයා රටින් පිටවීම වැළැක්වීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් මාලි පියසේන මහතා වැඩිදුරටත් කීවේය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා