සර්පයාගේ බෙල්ලෙන් අල්ලා සොලවද්දී ලක්මාල් මහත්තයාගේ අතට දෂ්ට කළා

සර්පයාගේ බෙල්ලෙන් අල්ලා සොලවද්දී ලක්මාල් මහත්තයාගේ අතට දෂ්ට කළා

සාක්කිකරු කියයි

සර්පවිෂ ශරීර ගත වී ඉංගිරියේ තරුණයෙක් මරුට

නිශාන්ත ලක්මාල් යන අයගේ එළවළු කොටුවේ මම වැඩ කරනවා. එදා වැඩ ඉවර වෙලා 5.30ට විතර මාව ඇරලවන්න ත්‍රිවීල් එකෙන් යමින් සිටියදී පාර අයිනේ ගෙයක් ළඟ සෙනඟ වට වෙලා හිටියා.

ත්‍රිවිල් එක නවත්තලා එතෙන්ට ගිහින් බැලුවා . පොළෙඟක් සිටින බව දැක්කා . ලක්මාල් මහත්තයා පොළඟාගේ වලිගයෙන් අල්ලා ඉස්සුවා.

පොළඟා මහත්තයාගේ අත කෑවා කියලා පසුව දැනගත්තා යැයි පොළඟකු දෂ්ඨ කිරීමෙන් මිය ගිය ඉංගිරිය අක්කර විස්ස පදිංචිව සිටි ගොඩැල්ලවත්ගේ නිශාන්ත ලක්මාල් (අවු.27) යන අයගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් මයිකල් ස්ටීවන් රොබට් යන අය පැවසීය.

මේ මරණ පරීක්ෂණය ඉංගිරිය රෝහලේ දී පැවැති අතර ඉංගිරිය පොලිස් බල ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක උදයරත්න ලියනගේ මහතා ඉදිරියේ සාක්කිකරු මෙසේද පැවැසීය.

මා පදිංචිව සිටින්නේ ඉංගිරියවත්ත උඩ කොටසේ . මියගිය ලක්මාල් යන අයගේ එළවළු කොටුවේ වැඩ කරනවා. එදා වැඩ ඉවර වෙලා මාව ගෙදරට ගෙනිහින් දාන්න ලක්මාල් මහත්තයා ත්‍රිවීල් එකෙන් යමින් සිටියා.

ලක්මාල් මහතා ටිකක් බීලා හිටියේ. අක්කර විස්ස නිවසක් අසල සෙනඟ පිරී සිටියා. ලක්මාල් මහත්තයාත් මාත් ත්‍රිවීල් එක නවත්තලා බැහැලා බැලුවා . පොළෙඟක් එතැන සිටියා. ඔහු පොළඟාගේ වලිගය කොටසෙන් අල්ලා ඉස්සුවා. බිම දමා නැවත බෙල්ලෙන් අල්ලා ඉස්සුවා.

ඒ හැම වාරයකම පොළඟා ලක්මාල් මහත්තයාගේ අතට දෂ්ඨ කර තිබෙනවා. ලේ එන විටයි ඔහු දැක්කේ. එතැන සිටි අය කීවා සර්ප වෙදකම් කරන ගෑනු කෙනෙක් ඉන්නවා කියලා.

ලක්මාල් මහත්තයාමයි ත්‍රිවීල් එක පදවාගෙන එතැනට ගියේ. එතැනට ගියාම මතුරලා ටිකක් වෙලා ඉඳලා කීවා හරියන්නේ නෑ.රෝහලට ගෙනියන්න කියලා.ලඟ සිටි අය රෝහලට රැගෙන ගියා. එහිදී මිය ගිය බව දැනගන්නට ලැබුණා.

මිය ගිය අයගේ මව වන ,ඉංගිරිය අක්කර විස්ස අංක 243 නිවසේ පදිංචිව සිටින සුනේත්‍රා නිමල් කාන්ති මෙසේ කීවාය.

මිය ගොස් සිටින්නේ මගේ දරුවා .ඔහු එළවළු වගාව කරනවා. එයා එළවළු කොටුවේ වැඩ කරන දෙමළ මනුස්සයා ගෙදරට ඇරලවන්න යන අතරේ මේ දෙය සිදුවෙලා තියෙන්නේ.

සෙනඟ වට වෙලා ඉන්නවා දැකලා ත්‍රිවීල් එක නවත්තලා එතෙන්ට ගිහින් තියෙනවා. ඒ වෙන කොටත් වටවෙලා හිටපු කට්ටිය ගහලා පොළඟා අඩපණ වෙලා ඉඳලා තියෙන්නේ. පුතා බීලා ඉඳලා තියෙනවා. පොළඟාගේ වලිගයෙන් හා බෙල්ලෙන් අල්ලද්දී ඌ කාලා.

පුතා ඉංගිරිය රෝහලට රැගෙන ගියත්, එහිදී බාහිර අංශයේ දොස්තර මහත්තුරු පරීක්ෂාකර බලා මිය ගොස් ඇති බව කීවා.මෙහිදී ඉංගිරිය පොලිසියේ පොලිස් කොස්තාපල් ආනන්ද මහතා සාක්කි මෙහෙය වූ අතර ඉංගිරිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒකනායක මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය.

හදිසි මරණ පරීක්ෂක උදයරත්න ලියනගේ මහතා මේ මරණය සර්ප විෂ ශරීර ගත වීමෙන් සිදු වූවක් බව තීන්දු කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා