මතට ලොල් වූ පහේ කල්ලිය ලක්ෂ 30ක රන්මාල කඩාගෙන

මතට ලොල් වූ පහේ කල්ලිය ලක්ෂ 30ක රන්මාල කඩාගෙන

බෝම්බ අවි ආයුධ පෙන්වා කතුන් බය කරලා


අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා සමඟ වැටලීම කළ නිලධාරීහු අත්අඩංගුවට ගත් රන්මාල හා ජීව අත්බෝම්බය (නිෂ්ක්‍රීය කරන ලද) හා අවි ආයුධ සමඟ කොල්ලකන ලද රන්මාලවලින් කොටසක් සහ අත්බෝම්බය හා අවිආයුධ සමඟ

ඡායාරූප : කොච්චිකඩේ විශේෂ

ජීව අත්බෝම්බ හා අවි ආයුධ පෙන්වා යතුරු පැදිවලින් ගොස් මහමඟ තනිපංගලමේ යන කාන්තාවන් ගෙල බැදි රන්මාල කොල්ලකන ලද පස්දෙනකුගෙන් යුත් කල්ලියක් ලක්ෂ 30ක් පමණ වටිනා රන්මාල 21ක් සමඟ අත්අඩංගුවට ගැනීමට කොච්චිකඩේ පොලිසියේ අපරාධ අංශය සමත්විය.

මෙම කොල්ලකරුවන් දාගොන්න, මාරවිල, මීගමුව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28 - 30 ත් අතර වෙති.

තනිව මහමඟ යන කාන්තාවන් ගෙල බැදි රන්මාලද, අත්පලඳනාද (බ්‍රෙස්ලට්), අත්බෑග් ද මෙලෙස යතුරු පැදිවලින් ගොස් පැහැරගෙන ඇත. වෙළෙඳ සැල්වලට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන කාන්තාවන් ද මේ අයගේ ඉලක්ක බවට පත්වී තිබුණි.

කොච්චිකඩේ, හෙට්ටිපොල, මාරවිල, දංකොටුව, වෙන්නප්පුව, දිවුලපිටිය යන ප්‍රදේශවලදී මෙම කොල්ල කෑම් සිදුකර තිබේ. කොල්ලකෑම සඳහා භාවිතා කරණ යතුරුපැදිවල ව්‍යාජ අංක තහඩු යොදා ගෙන තිබිණි. සැකකරුවෝ මත්ද්‍රව්‍යවලට හා සූදු ක්‍රීඩාවට තදින් ඇබ්බැහිවූවෝ වෙති.

පැහැරගත් රන්මාල හලාවත මාරවිල මිනිවන්ගොඩ යන ප්‍රදේශවලට අලෙවි කොට උගස් කර තිබියදී පොලිසිය සොයාගෙන ඇත. ආභරණ මිලදී ගත් ඇතැම් වෙළෙන්දෝ ඒවා උණුකර තිබුණි.

පසුගිය 26 වැනිදා පෙ.ව 11.00ට පමණ මුරුතෑන වීරවිල ප්‍රදේශයේ මෙම සැකකරුවන්ගෙන් දෙදෙනකු යකුරුපැදියක ගමන්කරන විට කොච්චිකඩේ පොලිසියේ පිරීක්ෂාවට ලක්විය.

යතුරු පැදියේ පිටුපස වාඩි වී සිටි පුද්ගලයා සන්තකයේ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ උල් පිහියක් තිබී පොලිසිය සොයා ගනු ලැබීය. දීර්ඝ වශයෙන් පොලිසිය සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සියලු තොරතුරු අනාවරණය කර ගෙන තිබුණේය.

කොට්ඨාස පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ හා සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් පිට කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. කළුආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක ජේ. මදනායක පොලිස් සැරයන් 31866 කරුණාසේන, පොලිස් කොස්තාපල්වරුන් වන 31596 විජේසිරි, 34688 ජයසූරිය, 77896 වික්‍ර‍්‍රමසිංහ, 37647 සුනිල්, 31647 සුනිල් යන නිලධාරී කණ්ඩායම මෙම වැටලීම සිදුකර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා