ජයවර්ධන දෙවියන්ගේ වාපි කර්මාන්තය

ජයවර්ධන දෙවියන්ගේ වාපි කර්මාන්තය

ශ්‍රී ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරය නිරූපණය කරන ප්‍රධාන සාධක දෙකක් පවතී. පළමු වන්න වැව කේන්ද්‍ර කොටගත් වාරි කර්මාන්තය යි. දෙවන්න දාගැබ මූලික කොටගත් ඉදිකිරීම් කර්මාන්තය යි. ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් වූ නායකයෝ වැව් තැනීමටත්, දාගැබ් ඉදිකිරීමටත්, දළදා වහන්සේ ආරක්ෂා කිරීමටත් දිවි හිමියෙන් බැඳී සිටියෝ ය. වැවෙන් රටේ ආර්ථිකය මූර්තිමත් විය. දාගැබෙන් ආගමික පුනර්ජීවනය සංකේතවත් විය. දළදා වහන්සේ වෙතින් ප්‍රකාශ වූයේ රටේ ආරක්ෂාව, රාජ්‍යත්වය පිළිබඳ අභිමානය හා සාමය යි. මෙරට දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සියල්ලෝ ම අපගේ එම උරුමයන් පිළිබඳ මනා වැටහීමක් ලද යුත්තෝ ය.

කරුමයකට මෙන් අපේ විපක්ෂ නායක තුමාට රටේ පුරාණ උරුමයන් පිළිබඳ හැඟීමක් නැත. එතුමා හිටි හැටියේ ඉතිහාසය විකෘති කරයි. රජ පරපුරට අපහාස කරයි. අටුකොස් ගස් සිටුවිය යුතු යැයි කිය යි. ගොවියාට බෙල්බොටම් දෙන්නට හදයි. කුඹුරු ගොඩ කරන්නට හදයි. පුරාණ ග්‍රාම නාමවල අර්ථකථන වෙනස් කරයි. ඒවාට විකෘති විවරණ දෙයි. ඉතිහාසය නො දන්නාකම නිසා එසේ කරන්නේ ද නැතහොත් ජාතියට අපහාස කිරීම සඳහා හිතාමතා ම ඉතිහාසය විකෘති කරන්නේ ද යන්න ගැටලුවෙකි. කුමක් වුව විපක්ෂ නායකතුමාගේ අලුත්ම අදහස වන්නේ මහා පරාක්‍රමබාහු, මහසෙන්, ධාතුසේන වැනි නරපතියනට වඩා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන වැව් තැනූ බව ය. ඒ අනුව මෙරට වාපි කර්මාන්තයේ දෙවියා ජේ. ආර්. ජයවර්ධන වන බව ය.

මෙරට වාපි කර්මාන්තය ආරම්භ වන්නේ වියළි කලාපය නැතහොත් රජරට ජනාවාස වීමත් සමඟ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව ඉදි වී ඇත්තේ අනුරාධ ග්‍රාමය ආසන්නයේ බව මහාවංශය සඳහන් කරයි. ඒ ක්‍රි.පූ. හතරවන සියවසේ දී ය. වාරි කර්මාන්තය රාජ්‍ය අනුග්‍රහය යටතේ වැඩි දියුණු වන්නේ පණ්ඩුකාභය සමයේ පටන් ය. දුටුගැමුණු, සද්ධාතිස්ස, ඉලනාග, වසභ, පළමුවන අග්බෝ, දෙවන අග්බෝ, පස්වන අග්බෝ, දෙවන මිහිඳු, පළමු වන උපතිස්ස, මහසෙන්, ධාතුසේන, මහා පරාක්‍රමබාහු මෙරට වාරි කර්මාන්තයට සම්බන්ධ ප්‍රකට නරපතියෝ වූහ. මහසෙන්, ධාතුසේන, මහා පරාක්‍රමබාහු යන රජවරු වාරි ක්ෂේත්‍රයෙහි ස්වර්ණමය යුග සටහන් කළ ශ්‍රේ්ෂ්ඨ නායකයෝ වූහ.

මහසෙන් රජු (ක්‍රි.ව. 276 – 303) විශාල වැව් 16 ක් තැනූ බව ඉතිහාසයේ සඳහන් ය. මින්නේරි වැව (මනහිරවාපි), හුරුළු වැව (සුරාල්ල වාපි), කණදරා වැව (කාණවාපි) යන වැව් ද ඒ අතර වේ. ධාතුසේන රජු මහ වැව් 18 ක් තැනූ බව චූලවංශයේ සඳහන් ය. ඒ අතර ප්‍රධාන වන්නේ කලාවැව ය. ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ මහා පරාක්‍රමබාහු රජු ගැන දීර්ඝ විස්තරයක් චූලවංශයෙහි සඳහන් ය. ඒ අනුව රජතුමා විසින් තනන ලද හෝ වැඩි දියුණු කරන ලද අමුණු ගණන 165 කි. ඇළ මාර්ග ගණන 3910 කි. මහ වැව් ගණන 163 කි. සුළු වැව් ගණන 2376 කි. සොරොව් ගණන 341 කි. මහා පරාක්‍රමබාහු රජතුමා ඉදිකළ පරාක්‍රම සමුද්‍රය හා තෝපා වැව මේ අතින් වඩාත් ප්‍රකට ය. අපගේ පුරාණ වාරි ශිෂ්ටාචාරය පිළිබඳ අපූරු විග්‍රහයක් ආර්. එල්’ බ්‍රෝහියර් මහතාගේ “ලංකාවේ පුරාණ වාරිමාර්ග” නම් කෘතියේ ඇතුළත් ය. සර් ඇමසන් ටෙනන්ට් මෙරට වාරි කර්මාන්තය විග්‍රහ කරන අයුරු එම කෘතිය මෙසේ දක්වයි.

“ලංකාදීපයෙහි වරක් පැවැති යශෝභාවය සිහිපත් කරන දේවල් අතුරින් මේ පුරාණ වැව්වල විස්මය ජනක නෂ්ටාවශේෂයෝ අග්‍රස්ථානය ලබන්නෝ ය. මධ්‍යම මිසරයේ තිබෙන විශාල මොරිස් විල ද, වෑකණ්ඩිය කඩා යෑමෙන් අරාබියාවේ මාරිබ් නුවර විනාශ වී ගිය ගුප්ත වූ අල්අරම් නමැති වැව ද හැර අන් කිසි පුරාතන හෝ නූතන ජාතියක් විසින් කරවන ලද මෙවැනි කර්මාන්තයක් ලංකාවේ විස්මය ජනක වැව් වල විශාලත්වය නො පරදවන්නේ ය. අජ්මීර් ජාතිකයන් විසින් සාදන ලද ඉස්ෆහාන් නගරයේ හොකරඩ් නමැති වැවත්, මයිසෝර් රටේ හයිඩර් නම් ජලාශයත්, කලාවැව හෝ පදවිය වැව හෝ සමඟ විශාලත්වයෙන් හා ලක්ෂණයන්ගෙන් කිසිසේත් ම සම කළ නො හැකි ය. එසේ ම හැසරියා රටේ තිබෙන වාරිමාර්ගවත්, පර්සියාවේ තිබෙන ඇළවල්වත්, පේරු රටේ පොළොව යටින් සාදා තිබෙන ජල මාර්ගවත්, මින්නේරිය වැව සහ පරාක්‍රම සමුද්‍රය, අඹන් ගඟට යා කිරීමට තනන ලදැ’යි සිතිය හැකි ඇළහැර නම් ඇළ සමඟ විශාලත්වයෙන් සම කළ නො හැකි ය.”

මෙරට පුරාණ වාරි කර්මාන්තයේ විශිෂ්ටත්වය ගැන තේරුම් ගැනීමට ඉහත සඳහන් ඡේදය වුව ප්‍රමාණවත් ය. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ වාරි කර්මාන්තයක් පිළිබඳ එබඳු සටහනක් කොතැනක දී වුව අප දැක නැත. ජේ. ආර්. මහතා වැවක් තබා වැව් සොරොව්වක් වත් හදා නැත. ඒ මහතා 1977 දී බලයට පත් වූ සැණෙන් කියා සිටියේ ශ්‍රී ලංකා ව සිංගප්පූරුවක් කරන බව ය. සිංගප්පූරුවේ දියුණුව රැඳුණේ සේවා ආර්ථිකය මත ය. මහා පරිමාණ කෘෂිකර්මයට එහි ඉඩක් නැත. ජයවර්ධන මහතා කෘෂිකර්මය අතහැර නිදහස් වෙළෙඳාම ආරම්භ කළේ ය. ඒ නිසා ම රටේ ජනගහනයෙන් බහුතරය වූ ගොවි ජනතාව මහත් අසරණ තත්ත්වයකට පත් වූහ.

ජයවර්ධන මහතා වැව් ඉදිකොට කෘෂිකර්මය නඟා සිටුවීමට කටයුතු කළේ නම්; මෙරට ගොවියා සුඛිත – මුදිත ලෙස ජීවත් විය යුතුව තිබිණි. ජයවර්ධන ආණ්ඩුව තරම්; ගොවියා නොසලකා හරින ලද වෙනත් ආණ්ඩුවක් ඉතිහාසයේ නැත. රජ රට ගොවියා කනේරු ඇට කා දිවි නසා ගැනීම ආරම්භ කළේ ද ජේ. ආර්. ජයවර්ධන යුගයේ ය. එදා ගොවියා නොසලකා හැරීම කෙතරම් ද යත්; 1962 දී ආරම්භ කොට 1972 දී තවදුරටත් පුළුල් කළ පොහොර සහනාධාරය එ.ජා.ප ආණ්ඩුව විසින් කපා හරින ලදී. එජාපය වැව් හැදූ හැටි ද ගොවියාට සැලකූ හැටි ද එයින් මොනවට පැහැදිලි වේ.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට එක්කෝ පොට වැරදුණා වන්නට ද පුළුවන. ඔහු මේ කියන්නට වෑයම් කරන්නේ මහවැලි ව්‍යාපාරය ගැන විය යුතු ය. මහවැලිය උතුරට හැරවීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිස ජයවර්ධන මහතාගේ නො වේ. එය පියවරෙන් – පියවර වසර තිහක දී නිම කරන්නට සැලැසුම් කළ ව්‍යාපාරයකි. එය වසර හයකට කඩිනම් කොට එහි අරමුණු හා ඉලක්ක වෙනස් කළේ ජයවර්ධන මහතා ය. ජයවර්ධන මහතා මහවැලි ව්‍යාපාරය ඔස්සේ ඉන්දියාවට ද විදුලිය දෙන්නට පුරසාරම් දෙඩුව ද ඒ එකක්වත් සාර්ථක වූයේ නැත. කඩිනම් මහවැලිය යනු ඉලක්ක සපුරා නොගත් අසාර්ථක ව්‍යාපාරයෙකි.

දේශපාලකයා කට අරින විට වගකීමක් සහිත ප්‍රකාශ නිකුත් කරන්නට වග බලා ගත යුතු ය. රටක උරුමයට අපහාස කරන දේශපාලකයාට ජනතාව අතර ඉඩක් නැත. අදත් මේ රටට බත සැපයෙන්නේ පුරාණ රජවරුන් ඉදිකළ වැව් හා වාරිමාර්ග නිසා ය. ඒ නරපතියනට පින් දෙමින් බත් පත අතට ගත යුතුව තිබිය දී විපක්ෂ නායකතුමා ඔවුනට අපහාස කරයි. මහසෙන් රජ මින්නේරු දෙවියා වූ ලෙස ජේ. ආර්. ජයවර්ධන මහවැලි දෙවියා වන්නේ නැති බව පමණක් වික්‍රමසිංහ මහතා මතක තබා ගත යුතු ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා