පක්ෂය වෙනුවෙන් කැපවෙන ඕනෑම අයකුට නිසි ගෞරව දෙන්න ශ්‍රීලනිපය පැකිළෙන්නේ නෑ

පක්ෂය වෙනුවෙන් කැපවෙන ඕනෑම අයකුට නිසි ගෞරව දෙන්න ශ්‍රීලනිපය පැකිළෙන්නේ නෑ

ඇමැති නිමල් සිරිපාල උපහාර උළෙලේ දී ජනපති කියයි

පක්ෂය රැකගැනීමට කැප වන ඕනෑම කෙනකු රකින්නට, නිසි ගෞරවය ලබා දෙන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙක නොපැකිළෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් බදුල්ල විල්ස් ක්‍රීඩාංගණයේදී පෙරේදා (2) පැවැති 'තිස් වසරක අර්ථ පූර්ණ දේශපාලනයේ දෝංකාරය' සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගත් අයුරු සහ ජනාධිපතිවරයා අතින් සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු.

ඡායාරූප - චන්දන පෙරේරා , සුදත් මලවීර

අප පක්ෂය සමඟ ආත්මීය බැඳීමක් ඇති කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සෑම විටම සිටින බව පැවසූ ජනාධිපතිවරයා නිමල් සිරිපාල ද සිල්වා ඒ අතර පෙරමුණේ සිටි දේශපාලනඥයකු බව පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ දේශපාලන ජීවිතයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උපහාර උළෙලට බදුල්ල විල්ස් ක්‍රීඩාංගණයේදී පෙරේදා (02) එක්වෙමිනි.

තිස් වසරක අර්ථ පූර්ණ දේශපාලනයේ දෝංකාරය තේමාව යටතේ සංවිධාන කෙරුණු මෙම උළෙලේදී ගාමිණී සූරියආරච්චි විසින් රචිත බදුලු අභිමන එකලු කළ මිණ ග්‍රන්ථය ද එළිදැක්විණ..

පක්ෂයේ නායකයන් නිමල් සිරිපාලද සිල්වා ඇමැතිතුමාට සැමවිටම භාරදූර වගකීම් භාර දුන්නේ ඔහු නිතරම නිවැරැදි දැක්මක් හා ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කළ අයෙක් නිසා බව ජනාධිපතිවරයා පැවසීය.

වසර තිහක් තිස්සේ ඇමැතිවරයා අනුගමනය කළ සෘජු ප්‍රතිපත්තිය තමා සැමවිටම අගය කරන බව පැවසූ ජනාධිපතිවරයා පක්ෂය, ආණ්ඩුව, රට වෙනුවෙන් නිර්භයව අදහස් පැවැසීමට ඔහු නොපැකිළුණු බව සිහිපත් කළේය.

ජනඝෝෂා, පාද යාත්‍රා වැනි සටන්වලදී පෙරමුණේ ගමන් කළ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා වැනි අයකුගේ ඕනෑම උත්සවයකට සහභාගී වන්නට තමා දෙවරක් සිතන්නේ නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය..

එල්. ටී. ටී. ඊ සංවිධානයේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවත් කිසිදිනෙක ඔවුන්ට වෛර නොකළ ඔහු රට වෙනුවෙන් එම ප්‍රශ්නය විසැඳීමට අවංකව උත්සාහ කළ අයකු බවත් කොන්ද කෙළින් තබාගෙන ජාතියේ ගෞරවය රකින්න කටයුතු කළ නිමල් ඔහුගේ පරිණත දේශපාලනය රටට පෙන්නුම් කළ බවත් ජනාධිපතිතුමා පැවසීය .

ඇමැතිවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, හිටපු නියෝජ්‍ය ඇමැති වඩිවේල් සුරේෂ් මහත්වරු ද මෙහිදී අදහස් දැක්වුහ .

ඌව පළාත් ආණ්ඩුකා ර නන්ද මැතිව්, මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ , ජගත් පුෂ්පකුමාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, මහින්ද අමරවීර මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වුහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා