දක්ෂිණ අධිවේගී මාර්ගය කතරගම තෙක් දීර්ඝ කිරීමට ශක්‍යතා වාර්තා සැකසේ

දක්ෂිණ අධිවේගී මාර්ගය කතරගම තෙක් දීර්ඝ කිරීමට ශක්‍යතා වාර්තා සැකසේ

චීන රජයෙන් දායකත්වය

දක්ෂිණ අධිවේගී මාර්ගය මත්තල හම්බන්තොට සහ කතරගම දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා වාර්තා සකස් කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන රජයෙන් සිදු කළ ඉල්ලීමකට අනුව මේ සඳහා චීන රජයේ දායකත්වය ලබාදීමට එකඟතාව පළ කර ඇත.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට කඩිනම් ගමනාගමන පහසුකම් ලබාදීම මෙහි එක් අරමුණක් බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා ප්‍රකාශ කළේය. අදියර කීපයක් ඔස්සේ කඩිනමින් නිම කිරීමට නියමිත මේ මාර්ගය ගාල්ල - මාතර ඉදිකිරීම් මේ වසරේ අවසන් කෙරේ. මේ සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා ප්‍රජා සංවිධාන දැනුවත් කිරීමේ වැඩසටහනක් (01) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මාතර ගොඩගම අන්තර් හුවමාරුවට මාතර - අකුරැස්ස මාර්ගය පිවිසුම් මාර්ගය වේ. අපරැක්ක අන්තර් හුවමාරුව සඳහා පිවිසිය හැක්කේ මැද්දවත්ත කැකණදුර යටියන මාර්ගය ඔස්සේය. බෙලිඅත්ත හුවමාරු මධ්‍යස්ථානයකි. ඒ සඳහා බෙලිඅත්ත - හක්මන මාර්ගය යොදා ගැනේ. එමෙන්ම බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයද මේ සඳහා ‍යොදා ගැනේ.

කසාගල අන්තර් හුමවාරුවට පිවිසීම රන්න - උඩයාල - වීරකැටිය මාර්ගය වේ. අඟුණකොළපැලැස්ස අන්තර්හුවමාරුට හුංගම - තලාව - මිද්දෙනිය මාර්ග ඔස්සේ පිවිසිය හැකි වේ. වැටිය අන්තර් පිවිසුමට - නෝනාගම ඇඹිලිපිටිය මාර්ගය යොදා ගැනේ. සුරියවැව පිවිසුමට මිරිජ්ජවිල, සුරියවැව මාර්ගයද, අන්දරවැව දක්ෂිණ අධිවේගී මාර්ගයේ වරාය, ගුවන් තොටුපළ මාර්ගය වේ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් කෙළවර වේ.

බෙලිඅත්තේ සිට අන්දරවැව දක්වා අධිවේගී මාර්ගය මැදි කරමින් දුම්රිය මාර්ගය ඉදිකෙරෙන අතර සෑම පිවිසුම් මධ්‍යස්ථානයක් ආසන්නයේම විශේෂ කඩසාප්පු සංකීර්ණ, බස් නැවතුම්පළ ආර්ථික වශයෙන් ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කීය.

යෝජිත අධිවේගී මාර්ග පථයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බෙලිඅත්ත, තංගල්ල, වීරකැටිය, සුරියවැව, හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අම්බලන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා