රියැදුරු බලපත් 600ක් ඉතාලියෙන් එවයි

දිනමිණ පුවතට අවධානය

රියැදුරු බලපත් 600ක් ඉතාලියෙන් එවයි

විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන්ගේ රියැ‍දුරු බලපත් එම රටවලින් යළි ඔවුන්ට ලබාදී නැති බවට 'දිනමිණ' පසුගිය දිනක හෙළි කිරීමෙන් අනතුරුව ඉතාලියට ගිය ශ්‍රී ලාංකිකයන් හයසියයකගේ පමණ රියැදුරු බලපත් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය වෙත එවා තිබේ.

ඉතාලි රියැදුරු බලපත් කාර්යාලය එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මේ රියැදුරු බලපත් තොගය එවා තිබේ. විදේශගතවන පුද්ගලයන් එම රටේ වාහන ධාවනය කිරීම සඳහා ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉදිරිපත් කර එරටින් නිකුත් කරන තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාගත යුතු වෙයි.

එම තාවකාලික රියැදුරු බලපත්‍රය නිකුත් කරන එම රටවල් අයදුම්කරුගේ මෙරට රියැදුරු බලපත්‍රය ආපසු ලබා නොදෙයි. ඒ ගැන විමසූ විට ඔවුන් දැනුම්දී තිබුණේ එම රියැදුරු බලපත් මෙරට තානාපති කාර්යාල වෙත හෝ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය වෙත යවන බවයි. විදෙස්ගතවන පුද්ගලයන් මෙරටට පැමිණ වසර ගණන් ගත වුවද ඔවුන්ගේ රියැදුරු බලපත් නම් මෙතෙක් කලක් ලැබී තිබුණේ නැත. මේ නිසා ඔවුහු මේ රියැදුරු බලපත්‍රයේ අනු පිටපතක් (Duplicate) ලබා ගැනීම සිදු කරති.

විදෙස්ගත වන පුද්ගලයන්ට ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය මේ ආකාරයෙන් අහිමි වී තිබීම පිළිබඳ ගැටලුව 'දිනමිණ' මඟින් හෙළි කිරීමෙන් පසු ඉතාලියේ සිට පමණක් ශ්‍රී ලාංකිකයන් හයසියයකගේ පමණ රියැදුරු බලපත් එවා තිබේ. මේ රියැදුරු බලපත් හිමිකරුවන් වෙත යවනවාද යන්න සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් හරිශ්චන්ද්‍ර මහතාගෙන් 'දිනමිණ' කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ හිමිකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බවයි. එහෙත් යම් පුද්ගලයකු පැමිණ ඉල්ලා සිටියහොත් ඒවා ලබාදෙන බවද කොමසාරිස්වරයා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා