සබරගමුව-වයඹ පළාත් යා කරන කරඳන නව පාලමේ වැඩ ඇරැඹේ

සබරගමුව-වයඹ පළාත් යා කරන කරඳන නව පාලමේ වැඩ ඇරැඹේ

සබරගමුව පළාතත්, වයඹ පළාතත් යා කැරෙන වසර සියයක් පැරණි පොල්ගහවෙල කරඳන පාලම වෙනුවට රුපියල් මිලියන 250 වැය කොට ඉදිකැරෙන නව පාලමේ ඉදිකිරීම් කටයුතු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කැරිණි.

වසර 2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන පැවැත්වෙන කුරුණෑගල, කෑගල්ල හා පුත්තලම දිස්ත්‍රික්ක තුනේ සංවර්ධන වැඩ ආරම්භ කිරීම නිල වශයෙන් මේ සමඟ සිදුකැරිණි.

ආර්ථික සංවර්ධන ඇමැතිවරයාගේ අතින් පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ අලුතින් ඉදිකරන දෙමහල් ගොඩනැගිලි පරිශ්‍රයටද ඊයේ මුල්ගල් තැබිණි.

දැයට කිරුළ සංවර්ධන කමිටුවේ සභාපති සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය, ජ්‍යෙෂ්ඨ ඇමැති එස්. බී. නාවින්න, ඇමැති ජයරත්න හේරත්, සබරගමු පළාත් මහ ඇමැති මහීපාල හේරත්, වයඹ පළාත් මහ ඇමැති නීතිඥ අතුල විජේසිංහ, නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කණක හේරත්, ශාන්ත බණ්ඩාර, පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක වයඹ පළාත් සභා මන්ත්‍රී ටිකිරි අධිකාරි, පොල්ගහවෙල ප්‍රාදේශීය සභා සභාපති ලිවේරා ගුණතිලක යන මහත්වරු මේ අවස්ථාවන්ට එක්ව සිටියහ.

බ්‍රිතාන්‍ය ජාතිකයන් තැනූ පාලම් වෙනුවට නව පාලම් ඉදිකරන අලුත් යුගය මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන යුගය බව මේ මුල්ගල් තැබීමෙන් අනතුරුව පැවැති ජනහමුව ඇමැතූ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කෙළේය.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක පහක මේ වනවිට විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට සියයක්ම සපයා ඇතැයි කී ඇමැතිවරයා, දැයට කිරුළ 2014 ඇතුළත කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුනේ සෑම නිවසකටම විදුලිය ලබාදී අවසන් කරන බවට සහතික විය. ඒ අනුව මේ වසර නිමාවනවිට මේ දිස්ත්‍රික්ක තුනේ විදුලිය සෑම නිවසකටම ලබාදී එහි ප්‍රතිශතය සියයට සියයක් කරනු ලැබේ.

ගමේ පාර කොන්ක්‍රීට් කර හෝ කුට්ටිගල් අතුරා හෝ නවීකරණය කළා. පළාත් සභා මාර්ග කාපට් කළා. මහා මාර්ග කිලෝමීටර් ගණනක් නවීකරණය කළා. ගුවන් පාලම් දින ගණනකින් ඉදිකළා. ඒවාගේම අධිවේගී මාර්ග තැනුවා. ඉදිරියේදී උතුරට අධිවේගී මාර්ගයක් එනවා. ඒ සමඟම රටේ මාර්ග පද්ධතියේ විශාල දියුණුවක් සිදුවුණා. තවදුරටත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. මේවා සිදුවුණේ අතිගරු ජනාධිපතිතුමාගේ පාලන කාලයේදි යැයි ඇමැතිවරයා කීය.

අපේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජවරු කටයුතු කළා. ඉතිහාසයේ එම යුග තිබුණා. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් ද එසේ කටයුතු කළා. අපේ රට සහලින් ස්වයංපෝෂිත වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේදියි ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය. තිස් වසරක මහා විනාශකාරී යුද්ධය නිම කිරීමට ජනාධිපතිතුමා නායකත්වය ලබා දුන්නා. රණවිරුවෝ දිවි පුජා කර රටට නිදහස ලබා දුන්නා. එතෙක් රටේ සාමය තිබුණේ නැහැ.

දැන් රටේ සාමය සංවර්ධනය සමෘද්ධිය, සෞභාග්‍යය උදාවීමට පටන්ගෙන තිබෙනවා. අපේ බලාපොරොත්තුව පුද්ගලයා, පවුල, ගම, ප්‍රදේශයේ, පළාත, රට පොදුවේ දියුණු කිරීමයි. අතිගරු ජනාධිපතිතුමා අපිට ඒ සඳහා නිරන්තරයෙන්ම උපදෙස්, මඟපෙන්වීම් ලබා දෙනවා. මෙවර දැයට කිරුළ වැඩි වෙහෙසක් ගෙන රටේ ජනතාවට සේවා සැපැයීමට යොදා ගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

අධිවේගී මාර්ග රටේ දියුණුව වේගවත් කරන්න උවමනා යටිතල පහසුකමක්. අපි කොට්ටාව ගාල්ල අධිවේගී මාර්ගය හැදුවා. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය මාස තුනකින්, හතරකින් විවෘත කරනවා. ගාල්ල අධිවේගී මාර්ගය මත්තල දක්වා ඉදිරියට ගෙනියනවා.

එස්. බී. නාවින්න, රංජිත් සියඹලාපිටිය, ජයරත්න හේරත්, ඉන්දික බණ්ඩාරනායක, නීතිඥ අතුල විජේසිංහ, මහීපාල හේරත්, ශාන්ත බණ්ඩාර, ටිකිරි අධිකාරී, ලිවේරා ගුණතිලක යන මැති ඇමැතිවරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ද මේ ජනහමුවේදී කතා කළහ.

කෑගල්ල පොල්ගහවෙල ප්‍රදේශයේ මහා සංඝරත්නය, හින්දු, ඉස්ලාම්, කතෝලික පුජක ප්‍රසාදීන් වහන්සේලා රාජ්‍ය අංශ නිලධාරීහු, මහජන නියෝජිතයෝ ප්‍රදේශවාසීහූ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා