පොදු රද මඩුලු සමුළුවට සාමාජික රටවලට නිල ඇරියුම් යැවේ

පොදු රද මඩුලු සමුළුවට සාමාජික රටවලට නිල ඇරියුම් යැවේ

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවන ලෙස සාමාජික රටවලට නිල වශයෙන් ආරාධනා කර ඇතැයි රජය අවධාරණය කරයි.

මෙම රාජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බර් මස 15, 16 සහ 17 දිනයන්හි කොළඹදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සාමාජික රටවල් බහුතරයක් සහභාගි වන බවට දැනටමත් දැනුම් දී තිබෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා "දිනමිණ" ට පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ඒ ඒ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල හරහා එක් එක් රටවල රාජ්‍ය නායකයන් වෙත ආරාධනා කරනු ලබන අතර එම කටයුතු මේ වනවිට සාර්ථකව අවසන්කර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

රටවල් 54 ක් පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය උසුලන අතර ෆීජී රට සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. කෙසේ වුවද නවසිලන්තය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ සඳහා සහභාගිවන බවට නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබෙන බවද සෙසු රටවල්ද මේ සඳහා සහභාගි වනු ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණඩලීය සමුළුවේ කටයුතු නොවැම්බර් මාසයේ 10 වැනිදා සිට ආරම්භ වන අතර 10 දා සිට 14 දා තෙක් තරුණ වැඩමුළුව හම්බන්තොටදී පැවැත්වෙන බවද එම කාලවකවානුව තුළ සිවිල් සමාජ වැඩමුළුව හික්කඩුවේදී පැවැත්වෙන බවද කොළඹ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය පවසයි. ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසඳය නොවැම්බර් මාසයේ 12, 13 සහ 14 දිනයන්හි කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මාසයේ 15, 16 හා 17 දිනයන්හි කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සහ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙන බවද පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා