මාකේවිට තරුණියක් ඝාතන සිද්ධියේ චූදිතට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම්

මාකේවිට තරුණියක් ඝාතන සිද්ධියේ චූදිතට බරපතළ වැඩ ඇතිව සිර දඬුවම්

රුපියල් 20,000ක් ගෙවන්න නියෝග

ඝාතනයට ලක්වූයේ බැංකු නිලධාරිනියක්

ඝාතනයට ලක් වූ මාකේවිට රොෂානි සුරංගිකා  වික්‍රමආරච්චි

ගම්පහ දිස්ත්‍රික්කය පුරා මහත් කම්පනයට පත් වූ සිද්ධියක් වූ මාකේවිට පදිංචි බැංකු සේවිකාවක් අභිරහස් ලෙස ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබීමේ සිද්ධියේ චුදිතට බරපතළ වැඩ ඇතිව වසර 20ක සිර දඬුවමක් ද, රුපියල් 20000/- දඩයක්ද ගෙවන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු පීයසිලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියම කළාය.

දඩය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඬුවමක් ද නියම වන වගද නියෝග කළාය.

2008. 01. 18 දින මාකේවිට නිවසේ සිට සේවයට යමින් සිටි අවිවාහක බැංකු නිලධාරිනියක් වූ රොෂානි සුරංගිකා වික්‍රමආරච්චි (24) නැමති අයගේ ගෙල සිරකර ඝාතනය කර වැසිකිළි වළකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව ගම්පහ මහාධිකරණයේ විභාගයට නීතිපතිවරයා විසින් යොමුකර තිබුණි.

ඝාතනය වූ තරුණිය සන්තකයේ තිබූ රන්මාලයක් සහ ජංගම දුරකථනයක් චුදිත පුද්ගලයා විසින් තමන්ට ත්‍යාග ලෙස ප්‍රදානය කර තිබූ බව නඩු විභාගයේදී පාතිමා ජමාල් ඩින් නැමති තරුණියක් විසින් සාක්කි දෙමින් පවසා සිටියාය.

චෝදනාවට නිවරුදිකරු කීම මත ගම්පහ මහාධිකරණයේ දී මේ නඩු විභාගය දින ගණනාවක් පැවති අතර, වසර කිහිපයක් රක්ෂිත භාරයේ සිට ඇප පිට සිටියදී, මහාධිකරණයේ නඩු විභාගය මඟ හැරීම මත නැවත රිමාන්ඩ් භාරයට පත්ව සිටියේය.

චුදිත වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අතුල ප්‍රනාන්දු මහතා චුදිත චෝදනාවට වරද පිළිගැනීමට එකඟවී ඇතිබව පසුගිය නඩු දිනයේ දී ප්‍රකාශ කළෙන්, දඬුවම් නියම කිරීමට කල් තැබුවාය.

රජයේ අධිනීතිඥ නයෝමි වික්‍රමසේකර මෙනවිය පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූවාය.

මේ සිද්ධියේ චුදිත වූයේ මාකේවිට පදිංචි සිටි යාපා අප්පුහාමිලාගේ බිනර සංජය කරුණාරත්න නමැත්තෙකි.

ඡායාරූපය -

ගම්පහ සංචාරක

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා