ගුවන් හමුදා ලුතිනන්වරයෙක් අත් බෝම්බයක් පුපුරුවා ගනී

ගුවන් හමුදා ලුතිනන්වරයෙක් අත් බෝම්බයක් පුපුරුවා ගනී

අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේ 21 වන රෙජිමේන්තු පක්ෂාංගයේ සේවයේ නියුතුව සිටි බලපන්ති ලුතිනන්වරයෙකු ඊයේ (03) අලුයම විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පුපුරුවා ගනිමින් සිය දිවි හානි කරගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේ 21 වන රෙජිමේන්තු පක්ෂාංගයේ සේවයේ නියුතුව සිටි අංක 77A සල්මල් උයන රදාවාන පාර යක්කල පදිංචිව සිටි බලපන්ති ලුතිනන් (නි / 02574) එස්.ඩී.එස්. සිකුරාධිපති (31) නිලධාරියායි.

ඒ මහතා නිවාඩු ලබා නිවසට ගොස් නිවාඩු අවසන් වීමෙන් අනතුරුව ඊයේ (03) නැවතත් කඳවුරට පැමිණ ඇති බව පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි. එදිනම සවස් යාමේ ඔහු හමුවීම සඳහා කඳවුර තුළට මිතුරන් දෙදෙනකුද අවස්ථා දෙකකදී පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා රාත්‍රී 7.30 ට පමණ කඳවුරු භූමියෙන් නික්ම ගොස් ඇත.

ඉන් අනතුරුව බලපන්ති ලුතිනන්වරයා අලුයම 12.30 - 12.45ත් අතර කාලය තුළදී නිලධාරී භෝජනාගාරය ආසන්නයේ පිහිටි ඔහුට අයත් අංක 21 දරන කාමරයේ ඇඳක් මත සිට බෝම්බය පුපුරුවා හැර ගනිමින් සිය දිවි හානි කරගෙන ඇත. ඔහු සිය දිවි නසා ගැනීම සඳහා විදේශයේ නිෂ්පාදිත SFG 87 වර්ගයේ ජීව අත්බෝම්බයක් භාවිතා කර ඇති බව පරීක්ෂණ සිදු කරන අපරාධ විමර්ශන අංශය සඳහන් කරන අතර පෞද්ගලික සිත් තැවුලක් හේතුවෙන් එය සිදු කරගෙන ඇති බවද පොලිසිය පවසයි.

දිවි නසා ගත් බලපන්ති ලුතිනන් වරයාගේ උදරයට හා අත් වලට බරපතළ තුවාල සිදුව තිබූ බව පොලිසිය සඳහන් කරයි. බෝම්බය පිපිරීයාමත් සමඟ නැඟුණු ශබ්දය හේතුවෙන් ඊට යාබදව සිටි ගුවන් හමුදා නිලධාරියකු මේ බව කඳවුරු භාර උසස් නිලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුව කඳවුරේ උසස් නිලධාරීන් විසින් මේ සම්බන්ධව අනුරාධපුර මූලස්ථාන පොලිසියට දන්වා ඇත. මිය ගිය බලපන්ති ලුතිනන්වරයා ඔහුගේ විද්‍යුත් තැපෑල (E - mail) මඟින් ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකුට හා මිතුරන්ට පණිවිඩ යවා ඇති බවද පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.

ජීවිතය මුල සිටම වැරදුනු බවත් ඒ නිසා ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළ බවත් කිසිවෙකුටත් තමන් වෙනුවෙන් දුක් නොවන ලෙස එම පණිවිඩයේ සඳහන් කර ඇති බවත් පොලිසිය පවසයි. මිය ගිය බලපන්ති ලුතිනන් වරයා මීට වසර 12කට පමණ ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවයට බැඳී ඇති අතර වසර 12ක පමණ සේවා කාලයක් ඔහු විසින් සපුරා ඇත.

මීට පෙර ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මීරිගම පිහිටි කඳවුරේ රෙජිමේන්තු අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කර ඇත. ඔහු සේවය කළ කාලය තුළ අවස්ථා කීපයක් සේවයට නොදන්වා සේවයට නොපැමිණ ඇති බවද වාර්තා විය. මිය ගිය බලපන්ති ලුතිනන් වරයා මීට වසරකට පමණ ඉහතදී විවාහ වී ඇති බවද වාර්තා විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා