පැය 24ක් යාමටත් පෙර ප්‍රමිතිය අඩු අටපිරිකර වෙළෙඳුන් 40ක් අල්ලා ගනී

පැය 24ක් යාමටත් පෙර ප්‍රමිතිය අඩු අටපිරිකර වෙළෙඳුන් 40ක් අල්ලා ගනී

අටපිරිකරේ තිබුණේ ව්‍යාජ සිවුරු හට්ටි පාත්තර

පාරිභෝගික අධිකාරිය පැය 24ක් ඉක්ම යාමටත් පෙර ප්‍රමිතියෙන් හීන අටපිරිකර අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ මෙහෙයුම්වලින් ඊයේ පෙරවරු වන විට එවැනි කූ‍ට ව්‍යාපාර 40ක් සොයා ගැනීමට හැකිවී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු නියෝගය මත සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට ලබාදුන් උපදෙස් මත එම මෙහෙයුම ක්ෂණිකව ක්‍රියාත්මක කෙරුණි.

මෙසේ වැටලීම් කර සොයාගත් අටපිරිකර අතර තායි සිවුරට සමාන අන්දමින් ව්‍යාජ තායි සිවුරු සකස් කර අලෙවි කිරීම බුරුම / තායි පාත්තර නමින් ඇලුමීනියම් හට්ටි සහ ප්ලාස්ටික් සහ වෙනත් ලාභ අමුද්‍රව්‍ය යෙදූ පාත්තර දැලි පිහිය වෙනුවට රේසර් යොදා ගැනීමද මෙහිදී සොයා ගැනීමට හැකිවී තිබේ. පැරණි සහ පාවිච්චි කළ සිවුරු ද අලෙවි කිරීමට ‍තිබී ඇත.

රටපුරා සිදු කෙරෙන දාන මාන ඇතුළු ආගමික උත්සව සඳහා වසරකට අටපිරිකර ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් අලෙවි වෙයි. මේවා අතරින් වැඩි ප්‍රමාණයක් මහා සංඝරත්නයට පාවිච්චියට ගත නොහැකි තත්ත්වයේ ඒවා බව කියැවේ.

කාලයක් තිස්සේ කූට ව්‍යාපාරික ආයතන අටපිරිකර, දොළොස්පිරිකර හරහා පාරිභෝගිකයන් විශාල ගසා කෑමකට ලක් කර තිබෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ ආරම්භ කළ මෙහෙයුම් අදත් සිදු කෙරේ. අත්අඩංගුවට පත් ව්‍යාපාරික ආයතන වලට පාරිභෝගික නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා