වරායේ ගින්නට හේතුව අන්තරායක රසායනික ද්‍රව්‍යයක්

වරායේ ගින්නට හේතුව අන්තරායක රසායනික ද්‍රව්‍යයක්

අන්තරායකාරි රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් වරාය අධිකාරියේ ගින්න ඇතිවූ බවට මෙතෙක් සිදුකරන ලද වාර්තා පෙන්වා දෙන බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

වරාය ගින්නෙන් පසුව වරාය අධිකාරිය සිදුකළ විමසීමේදී ගුදමේ අන්තර්ගත භාණ්ඩවල වටිනාකම පිරික්සන ලිපි ගොනුවේ මේ අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු බවට ගෙන්වූ සමාගම හෙළිදරව් කර ඇති අතර එම සමාගමට එරෙහිව ගතයුතු ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා කීවේය.

භාණ්ඩ මෙරටට ගෙන්වීමේදී අදාළ භාණ්ඩ විස්තරයේ අන්තරාකාර ද්‍රව්‍ය නැති බවට මෙම සමාගම සටහන් කර ඇති නිසා රෙදිපිළි ආදි භාණ්ඩ තබන ගුදමේ මෙම කන්ටේනරයද තබා ඇති බවත්, මේ නිසා ගින්න හටගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් කොළඹ හිල්ටන් හෝටලයේ තිබූ මාධ්‍ය හමුවේදී ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා කීවේය.

රස පරීක්‍ෂක වාර්තාව හා රහස් පොලිස් වාර්තාව තවත් දින දෙකතුනකින් නිකුත් කරන බවත් එතෙක් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණවලට අනුව මෙම කරුණු හෙලිවූ බවත් ඇමැතිවරයා කීය.

ගින්නෙන් සිදුවූ අලාභය රුපියල් මිලියන 556කි. ඉතා පැරණි ගුදම් සංකීර්ණයේ වටිනාකම රුපියල් මිලියන 40කි.

ලැබූ පැමිණිලි 461න් 131ක් දෙනෙක් රක්‍ෂණ ආවරණ ලබාගෙන ඇති අතර අනෙක් ලිපිගොනු සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

සී. සී. ටී. වී. කැමරා 32ක් මෙම ගුදමේ ඇති බවත්, මෙම කැමරාවල පටිගත වූ දත්ත හා ආශි‍්‍රත කරුණු හේතුවෙන් මෙම කරුණු අනාවරණය වූ බවත් වසර 35ක් තරම් පැරණි ගුදම නවීකරණයටත්, ලංකාවට ගෙන්වන භාණ්ඩ පරීක්‍ෂා කිරීමේ නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකා රේගුව සමඟ සාකච්ඡා කර සොයා බලන බවත් මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම මහතා පැවසුවේය.

අන්තරායකාරි ද්‍රව්‍ය ඇති බවට සටහන් කර ඇත්නම් වෙනත් ගුදමක මේ භාණ්ඩ තැන්පත් කරන බවත් රෙදිපිළි ඇති ගුදමේ ගින්න හේතුවෙන් සූදානම් වූ ගිනි නිවන හමුදාවට මෙම ගිනිගන්නා සුළු ද්‍රව්‍ය නිවා දැමීමට බොහෝ ;වලා ගත වූ බවද හෙතෙම කීවේය.

ගිනිගන්නා සුළු ද්‍රව්‍ය තිබූ ස්ථානය හඳුනාගෙන ඇති බවත්, එම ද්‍රව්‍ය කිලෝ 350ක් පමණ තිබී ඇති බවත් සභාපතිවරයා කීවේය.

ගින්න සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක් වූ නිලධාරියා දේශපාලන සම්බන්ධකමක් ඇති පුද්ගලයකු බව මාධ්‍ය පෙන්වා දුන් බවත්, එසේ නම් එම පුද්ගලයා වැඩ තහනමකට ලක් නොවන බවත් අවධාරණය කළ ඇමැතිවරයා මෙම ගින්න සම්බන්ධයෙන් සැඟවීමට කිසිවක් නැති බවද කීවේය.

ගින්න සම්බන්ධ ද්‍රව්‍ය ගෙන්වූ අය සම්බන්ධව මේ වනවිටත් රහස් පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. රස පරීක්‍ෂක හා රහස් පොලිස් වාර්තාව ඉදිරි දින කීපය තුළ ලබා දීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා