උතුර සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙලා

උතුර සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වෙලා

මේජර් ජෙනරාල් උදය පෙරේරා

කිළිනොච්චි යුද හමුදා ආඥාපති

උතුරේ ජන ජීවිත නඟා සිටුවීමට යුද ජයග්‍රහණයෙන් වසර හතරක් ගතව ඇති මොහොතේ ශ්‍රී ලංකා යුද හමුදාව දක්වා ඇති දායකත්වය පිළිබඳ හා එහි ප්‍රගතිය ගැන අප කිළිනොච්චිය යුද හමුදා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* පශ්චාත් යුද සමයෙන් දැන් වසර 04 ක් ගෙවීගෙන යන්නෙ. ඊළඟට තිබුණ යුද්ධය තමයි යුද්ධයෙන් මුදාගත් ප්‍රදේශ යළි නඟා සිටුවන එක. මේ යුද්ධය කොතරම් දුරට ජයග්‍රහණය කරලා තියෙනවද?

කිළිනොච්චි ආඥාපති බල ප්‍රදේශයට වර්ග කිලෝමීටර් 1800ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය වෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ දැන් අවතැන් කඳවුරු කියල කිසිම තැනක නැහැ. ඒ නිසා 100% ක්ම එම ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් කරලයි තියෙන්නෙ.

* ඔබ එහෙම කීවත් තාමත් තමන්ට ඉන්න තැනක් නැහැ කියන අයත් ඉඳහිට අපට හමුවෙනවා?

ඔව් ඒක හරි . තමා පදිංචි ඉඩම්වල යම් යම් ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් ඔවුන්ගේ ඥාති නිවෙස්වල ජීවත් වන1%ක් විතර ඉන්නවා . එවැනි තත්ත්වයන් අපේ ගම්වලත් තියෙනවනෙ. ඒ හැර අද මුළුමනින්ම කිළිනොච්චිය ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් අවසානයි.

* එතකොට බිම් බෝම්බ ඉවත් කිරීම්?

විශේෂයෙන්ම ජනතාව පරිහරණය කරන ප්‍රදේශ ඒ වගේම වගා ඉඩම්, කුඹුරු ආදියේ බිම් බෝම්බ ඉවත් කරලා. ඒවා සම්පූර්ණයෙන්ම එහි පදිංචි ජනතාවගේ පරිහරණය සඳහා මුදා හැරලයි තියෙන්නෙ.

* ඒ කියන්නෙ බිම් බෝම්බ ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම සිදුවෙලා නැහැ.

නැහැ. මෙහිදී අපි මුලිකත්වය දෙන්නෙ ජනතාව නිරන්තරයෙන් ගැවසෙන ප්‍රදේශ වල බිම් බෝම්බ ඉවත් කිරීමට. ඒවා 95% කින්ම අවසන් කරලයි තියෙන්නෙ. තවත් 5% ක පමණ ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා. ඒ ඉතිරි ප්‍රමාණය කැලෑබඳ ප්‍රදේශ. ඒවා අපි සලකුණු කරලයි තියෙන්නෙ. තවමත් එම ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීම අඛණ්ඩව සිදුවෙනවා.

* එතකොට යටිතල පහසුකම් සංවර්ධනය කොහොමද?

ඒ 9 මාර්ගය ලෝකයේ දියුණුම මාර්ග පද්ධතියට සමාන අයුරින් සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරල තියෙනවා. ඊට අමතරව අනෙක් අතුරු මාර්ග සියල්ලක්ම නවීකරණය වෙමින් පවතිනවා. සැප්තැම්බර් මාසය වන විට දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වීමට නියමිතව තිබෙනවා. කොටින්ම මේ වන විට කිළිනොච්චිය ප්‍රදේශයේ යටිතල පහසුකම් වෙනුවෙන් එක්පවුලකට රජය විසින් රුපියල් මිලියන 1.3 ක් වියදම් කරල තියෙනවා.

* ඒ කියන්නෙ ඔබගේ බල ප්‍රදේශයේ කොපමණ පවුල් සංඛ්‍යාවක් පදිංචිව සිටිනවද?

පවුල් 45,000 කට වැඩියි.

* හොඳයි ඒ යටිතල පහසුකම්වලටනෙ. ඔවුන්ගෙ ජන ජීවිතය නංවන්න මොනවද කරල තිබෙන්නෙ?

මෙහි ජීවත්වන ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන සහ ධීවර කර්මාන්තය යි. අද එහි වගා නොකරපු එකම කුඹුරක්වත් නැහැ. සියලුම වාරි පහසුකම් ඔවුන්ට ලබා දී තිබෙනවා.

* යුද්ධයක් අවසානයේ එහි දරුණුතම ඛේදවාචකය තමයි බොහෝ කාන්තාවන් වැන්දඹුවන් බවට පත්වීම. ඔවුන්ට ජීවන මඟක් නැතිව අසරණව සිටීම. මෙවැනි පිරිස් නඟා සිටුවන්නට ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද?

එවැනි බොහෝ පිරිසක් කිළිනොච්චියේ සිටිනවා. මේ අය ස්වයං රැකියාවන්ට යොමු කරවන්න, ඔවුන් සුරතල් මසුන් ඇති කිරීම, රූපලාවන්‍ය ශිල්පය, මල් හැදීම, ගෙවතු වගාව, ගෘහ අලංකරණය ආදී ව්‍යාපාරයන්වලට යොමු කරන්න කටයුතු කරනවා. ඒ සඳහා අපේ කාන්තා සෙබළියන් මේ ගම්වලට පිටත් කරලා ඔවුන්ගේ සිත් දිනාගෙන ඒ පුහුණුවීම් කටයුතු ඒ අයට ලබා දෙනවා.

* ඒ කියන්නෙ සිංහල කතා කරන සෙබළියන් .

ඔව්, ඒ අය සිංහල කතා කරන අය.

* භාෂාවේ ප්‍රශ්න ඇති වුණේ නැද්ද?

මොකද නැත්තෙ. ඒක තමයි අපට තිබුණ ලොකුම ප්‍රශ්නය. කැඩිච්ච දෙමළෙන් කතා කරල ඒ අයට පුහුණුව දුන්නා. ඉන් වැඩිම දෙනාගෙ කැමැත්ත තිබුණෙ රූපලාවන්‍ය ශිල්පයට. මෙයින් ඒ අයගෙ ආර්ථික තත්ත්වය මදක් ඉහළට ආවා. පසුව මම මේ ව්‍යාපෘතිය පිළිබඳ යුද හමුදාපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් දැනුවත් කළා. ඒ අය මේ වැඩපිළිවෙළ ගැන පැහැදි, එයට අනුමැතිය දුන්නා. යුද හමුදාවට ද්‍රවිඩ තරුණියන් අලුතින් බඳවා ගැනීමට. ඒ අනුව අප කළ දැනුම් දීමට ද්‍රවිඩ තරුණියන් 500 දෙනෙක් ඉදිරිපත් වුණා යුද හමුදාවට බැඳෙන්න .

* හමුදාව ගැන නොයෙකුත් වැරැදි ප්‍රචාරයන් දෙමළ දේශපාලන නායකයන් පතුරුවා තිබුණානේද?

අන්න ඒක තමයි කියන්නෙ මිනිස්සුන්ගෙ මනස විකෘති කරල තිබුණෙ. අපේ සෙබළියන් ඔවුන් සමඟ කළ සුහදශීලී ගනුදෙනුවෙන් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කළා.

* ඉතින් ඔය 500 ම බඳවා ගත්තද?

හොදම සුදුසුකම් ඇති 109 දෙනෙක් බඳවාගත්තා. ඔවුන්ට මූලික පුහුණුව දුන්නා. වෘත්තීය පුහුණුව දුන්නා. දැන් ඔවුන් 109 දෙනාම ගම්වල කුඩා කණ්ඩායම් වශයෙන් එකතු කරලා මේ පුහුණුවීම් ලබා දෙනවා. දැන් භාෂාවේ ප්‍රශ්නයක් නැහැ.

* මීට අමතරව ඔවුන්ගේ ආර්ථිකය නංවන්න යම් ක්‍රියාදාමයක් කරනවද?

අපේ තවත් සංකල්පයක් තමයි ගෙවතු වගා ව්‍යාපාරය. එක් ගෙවත්තකින් පටන්ගෙන මුළු දිස්ත්‍රික්කය පුරාම එය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළකුයි ක්‍රියාත්මක වෙන්නෙ. ඒ සඳහා හැම නිවසකටම පොල් පැළ 10ක් සුරතල් මසුන් ව්‍යාපාරය කිරීමේ මාළු ටැංකියක් ලබා දීල තියෙනවා. කුකුල්පැටව් 10ක් සමඟ කූඩුවක්, හරකා බානක්, එළුවන් දෙදෙනෙක්. ලබා දීමෙන් ඔවුන්ගේ ආදායම් තත්ත්වය සරු කරගන්න මාර්ග හදල දීල තියෙනවා. ඊට අමතරව වැල්දොඩම් වගාව සහ මී මැසි පාලනයට ඔවුන් යොමු කර තිබෙනවා‍.

* මේ පවුල් තෝරාගන්නේ මොන සුදුසුකම් මතද?

අවම ආර්ථික තත්ත්වයක් ඇති පවුල් වලට තමයි මූලික තැන දෙන්නෙ. ක්‍රමයෙන් එය වර්ධනය වෙලා සෑම පවුලකටම එම ආර්ථික මෙවලම් ලබා දෙනවා.

* හොඳයි මේ ජනතාව ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත වුණාම වෙනත් වෙනත් ව්‍යාපෘතීන් වලටත් පෙළඹෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ඇතුළු වෙනත් දේ ලබා ගැනීමට ඔබගේ බල ප්‍රදේශයේ පහසුකම් තිබෙනවද?

විශේෂයෙන්ම බැංකු, අද අපේ රටේ ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිළිනොච්චියෙත් තිබෙනවා. ඒ නිසා ඒ ආශ්‍රිතව නිර්මාණය වන ව්‍යාපාරික කටයුතුත් එහි කෙරෙනවා. බැංකු ගණුදෙනු සිදු කෙරෙනවා කියන්නෙ පළාතක ආර්ථික කටයුතු ඉහළම තලයක තියෙනවා කියන්න හොඳ නිදසුනක්.

* එල්. ටි. ටී. ඊ. හිතවාදීන් කරන චෝදනාවක් තමයි උතුරු ප්‍රදේශවල සිංහල ජනයා බලෙන් පදිංචි කරනවා කියන එක. මේ කතාව ඇත්තද?

මේකෙ තියෙන ප්‍රශ්නය ඔය ‘අලුතින්’ කියන වචනෙ. සැබෑ තත්ත්වය නම් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ 90% ක්ම ඉඩම්වලට ඔප්පු නැහැ. තියෙන්නෙ බලපත්‍ර. ඒ කියන්නෙ ඒවා රජයේ ඉඩම්. ඉතින් මේ ඉඩම්වල පදිංචියට එන අය එන්නෙ අර බලපත්‍රය මත. අනෙක තමයි එහි ඉන්න වැඩි පිරිසක් සැමියා සිංහල. බිරිඳ දෙමළ. නැත්නම් බිරිඳ සිංහල සැමියා දෙමළ. මෙවැනි තත්ත්වයකදී සිංහල ජනයා කියල වැඩිපුර ඔවුන් උලුප්පල පෙන්වන්න හදනවා ලෝකයට. ඇත්තටම ඒක වැරදියි.

* මේ චෝදනාවට කිසිම පදනමක් නැහැ කියලද ඔබ කියන්නෙ?

මෙහි සාරාංශය මේකයි. කිළිනොච්චියේ හිටපු සිංහල මුස්ලිම් ජනතාව එල්. ටි. ටී. ඊ. එකෙන් ගහල පන්නල දැම්මා. ඉතුරු වුණේ දෙමළ ජනතාව. ඉතින් අවුරුදු 30ක් තිස්සේ මේ දෙමළ ජනතාව පරිහරණය කළේ අර ඉඩම්. පන්නපු සිංහල මුස්ලිම් මිනිස්සු ගිහින් දකුණේ පදිංචි වුණා. දැන් යුද්ධයක් නැහැ. රටම සාමකාමීයි. ඉතින් අර දකුණේ පදිංචි වුණු මිනිස්සු ආපහු තමන්ගේ ගම්බිම්වලට එනවා. මේක මේ අලුතින් පදිංචි කිරීමක් නෙවෙයි. කිළිනොච්චිය හැරගිය සිංහළ මුස්ලිම් ජනතාව ආපසු පැමිණීමක් පමණයි.

* නමුත් ජාත්‍යන්තර ප්‍රජාව මෙහිදී රජයට ඇඟිල්ල දික් කරන්නෙ දෙමළ ජනතාව ගැන හිතල?

මේකනෙ යුද්ධයෙන් අවතැන් වුණේ දෙමළ ජනතාව කියලනෙ තියෙන්නෙ. එල්. ටී. ටී. ඊ. එක ගහල පන්නපු සිංහල ජනතාව ගැන ඒ අය දන්නෙ නැහැනෙ. අවතැන් කඳවුරුවල සිංහල මුස්ලිම් ජනතාව හිටියෙත් නැහැනෙ. ඒ නිසා අවතැන් කඳවුරුවල හිටපු දෙමළ ජනතාවට මූලිකත්වය දීල නැවත පදිංචි කළා. මේ තත්ත්වය ලෝක ප්‍රජාව තේරුම් ගත යුතුයි. අනෙක හමුදාවක් හැටියටත් අපේ යුතුකමක් තමයි එල්. ටී. ටී. ඊ. එක පන්න ගත්තු අය නැවත ගෙනල්ල පදිංචි කරන එක.

* හොඳයි ඔබගේ කිලිනොච්චිය ප්‍රදේශයේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් ජන සංයුතිය කොපමණද?

සියට 95ක්ම ඉන්නෙ ද්‍රවිඩ. ඉතිරි අය සිංහල. මුස්ලිම් අයත් ඉන්නවා.

* අද නිතර කතාකරන දෙයක් තමයි ජන සහයෝගිතාවය. මෙය ඇතිකරන්න මේ සිංහල ප්‍රතිශතය ප්‍රමාණවත්ද?

ඇත්තටම නැහැ. නමුත් අපි පාසල් මට්ටමෙන් මෙවැනි ක්‍රියාදාමයක් දියත් කරලයි තියෙන්නෙ. උතුරේ පාසැල් යන හැම දරුවෙකුටම ශිෂ්‍යත්ව ක්‍රමයක් අති කරල දීල තියෙනවා. අවම වශයෙන් පළමු ශ්‍රේණියේ දරුවෙකුට මාසිකව රුපියල් සීයේ සිට 12 වන වසරේ ශිෂ්‍යයෙකුට මාසයකට රුපියල් 1200 දක්වා මුදලක් ලැබෙන විදියට. එය මුලින්ම ආරම්භළේ හමුදා සෙබළුන්ගෙ දායකත්වයෙන්. මෙය දැන් ඉතාම සාර්ථකව කරගෙන යනවා.

දකුණේ ඉන්න ඕනෑම අයෙකුට උතුරේ දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් දායකත්වය ලබා දීමේ වැඩපිළිවෙළක් ඒක. ඊට අමතරව දකුණේ දරුවන් උතුරට උතුරේ දරුවන් දකුණටත් සංචාර කිරීමේ සංස්කෘතික උත්සව ආගමික උත්සව සංවිධානය කිරීම මේ තුළින් ජන සහයෝගීතාව ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.

කොටින්ම කිළිනොච්චියේ තමයි දකුණු ආසියාවේ විශාලතම නත්තල් ගස නිර්මාණය කළේ. වෙසක් උළෙලට ධර්මාශෝක රජතුමාගේ චරිතාපදානය ප්‍රදර්ශනය කරන විදුලි බුබුළු 30,000 තොරණක් නිර්මාණය කළා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා