ඩෙංගු ශීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු ශීඝ්‍රයෙන් ඉහළට

ඩෙංගු රෝගය මේ දිනවලදී යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ‍යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරු බිත්තර සක්‍රීය වී මදුරු ගහනය වැඩි වීම මඟින් රෝගීන්ගේ සංඛ්‍යාව ද වැඩි වීමේ අවදානමක් පවතියි.

ගත වූ මාස පහ තුළදී රිජ්වේ ආර්යා ළමා රෝහලට ඩෙංගු ළමා රෝගීන් 1508 දෙනකු වාර්තා වී ඇති අතර මරණ 5 ක් සිදුව තිබේ. මේ අතරින් ඩෙංගු රක්තපාතයට ලක් වූ දරුවන් 227 දෙනෙකි. මේ වසරේ ආරම්භයේ සිට ගත වූ කාලයේදී මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 13,500 ක් පමණ වාර්තා වී ඇති අතර මරණ 38 ක් පමණ වාර්තා වී තිබේ.

මදුරුවන් බෝ විය හැකි ජලය එක් රැස් වන ස්ථාන විනාශ කිරීමෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය සියයට 60 කින් අඩු කර ගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ‍ඒකකය පවසයි.

විශේෂයෙන්ම යෝගට් කෝප්ප, පොල් කටු වැනි ජලය එක්රැස් වන කුඩා ස්ථානවල ඩෙංගු මදුරුවා වැඩිපුර බෝ වීම සිදු වන බවත් ජලය රැ‍ඳෙන කුඩා ස්ථානවල ඩෙංගු මදුරුවා බෝ වීම සිදු වන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය උදය රණසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු මරණ සිදු වීම අවම කර ගෙන ඇති අතර ‍සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් රෝගී සත්කාර සේවා ඉහළ නැංවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වී ඇති බව ද ඔහු පැවැසුවේය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම සිදුවේ.

තමා ජීවත් වන අවට පරිසරයේ මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කළ හැකි වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා