ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරනවා

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කරනවා

- කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති

අතීතයේ තිබූ ශ්‍රී විභූතිය යළි ඉස්මතුවන අයුරින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බල ප්‍රදේශයට අයත් පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීම හා ගොඩනැගීම ඉදිරි සතියේ සිට ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ආර්. ඒ. ඩී ජනක රණවක මහතා පැවසීය.

අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීමෙන් අනතුරුව කෝට්ටේ නගර සභාවේ නගරාධිපති ආර්. ඒ. ඩී ජනක රණවක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහත්වරුන් එම ගිවිසුම් හුවමාරු කරගන්නා අයුරු. ඡායාරූපය තුෂාර ප්‍රනාන්දු

ඒ අනුව කෝට්ටේ බල ප්‍රදේශයට අයත් පුරාවිද්‍යා වටිනාකමින් යුතු ස්ථාන 33 ක් හදුනාගෙන ඇති බවත් එම ස්ථාන සියල්ල සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම කීවේය.

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව හා කෝට්ටේ නගර සභාව එක්ව මෙම වැඩ සටහන ආරම්භ කර ඇති අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම් අස්සන් කිරීම කෝට්ටේ නගර සභාවේ නගරාධිපති ආර්. ඒ. ඩී ජනක රණවක, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහත්වරුන් විසින් කෝට්ට නගර සභා පරිශ්‍රයේදි ඊයේ (03) සිදුකළහ.

මීට අවශ්‍ය ප්‍රතිපාදන කෝට්ටේ මහ නගර සභාව හා පෞද්ගලික ආයතන කිහිපයක් විසින් දරන බව පැවසු ඒ මහතා වසර තුනහමාරක කාලයක් ඇතුළත සංරක්ෂණය කිරීම් හා ගොඩනැගීම් කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ප්‍රකාශ කළේය.

ඇතැම් පුරාවිද්‍යා වටිනාකමින් යුතු ස්ථාන යම් අයකුගේ පෞද්ගලික භූමියකට අයත්ව තිබේනම් එය ආරක්ෂා කරගැනීමට ඔවුන්ව දැනුවත් කරන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන බවත් රණවක මහතා පැවසීය.

06 වන පරාක්‍රම බාහු රජතුමන්, සපුමල් බණ්ඩාර කුමරුන්, වීදිය බණ්ඩාර කුමරුන්ගෙන් පෝෂණය වු කෝට්ටේ නගරය පිළිබඳ වත්මන් දරු පරපුර නොදන්නා බව පැවසු හෙතෙම ඉන් සිදුවන්නේ ඉතිහාසය වැලකීයාම බව කීවේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සබවේ නගරාධිපති ආර්. ඒ. ඩී ජනක රණවක මහතා මෙසේද ප්‍රකාශ කළේය.

මෙරට අගනගරය තමයි ශ්‍රී ජයවර්ධන කෝට්ටේ. අතීතයේ සිට සංස්කෘතිය හා සාහිත්‍ය පෝෂණය කිරීමට විශාල මෙහෙවරක් සිදුවුණේ මෙම ප්‍රදේශයෙන්, ඒත් අද වන විට ඒ සියල්ල යටපත් වී තියෙනවා. අපේ දරුවන් කෝට්ටේ ඉතිහාසය ගැන ඇහුවට දන්නේ නැහැ. ඒ අය කිසිම වැදගැම්මකට නැති කාටූන්, රූකඩ කතාවලට හසුවී සිටිනවා. හය වන පරාක්‍රම බාහු රජතුමන්ගේ ප්‍රතිමාවක් ඉදිකරන්නත් අප මේ වන විට සැලසුම් කරමින් සිටිනවා. මීට අමතරව කෝට්ටේ ශ්‍රී විභූතිය පිළිබඳ පොතක් ලියමින් පවතිනවා. මේ සියල්ලෙන්ම අප උත්සහ කරන්නේ කෝට්ටේ ඉතිහාසය යළි පාසල් දුවා දුරුවන් හා ජනතාව අතරට ගෙන යාමයි. අනෙක් කාරණය තමයි සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් ප්‍රදේශයක් බවට පත් කිරීමේන් ජනතාවට ආදායම් මාර්ග ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ වැඩපිළිවළ ගෙන යන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගෙන් විශාල සහයක් ලැබෙනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ඉහළ දායකත්වයක් ලැබෙනවා. මේ සියළුදෙනාටම කෝට්ටේ ජනතාවගේ ගෞරවණිය ස්තූතිය පිරිනමනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතා.- පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරිම අපිට තනිවම කරන්න පහසු නැහැ. ඊට නෛතික ක්‍රියාදාමයන් රැසක් තියෙනවා. ඒ අතින් බලද්දි කෝට්ටේ නගර සභාව සුවිශේෂී සහයක් ලබාදෙනවා. එය අපිට විශාල ශක්තියක්, අපට ලබාදෙන සහයට කෝට්ටේ නගරාධිපතිතුමන්ට හා එහි කාර්යය මණ්ඩලයට අපගේ ස්තූතිය පිරිනමනවා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉසුරු දේවප්‍රිය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ශාන්තා පී ලියනගේ, නාගරික ලේකම් එම්. එම්. සී. කේ. කේ මාන්නප්පෙරුම, නීති නිලධාරී එච්. එස් හෙට්ටිහේලගේ, සහකාර අධ්‍යක්ෂ බස්නාහිර පළාත මහින්ද කරුණාතිලක මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා