සබරගමු සරසවි සිසුහු 47ක් ඉවතට

වි‍නය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ යැයි හඳුනාගත්

සබරගමු සරසවි සිසුහු 47ක් ඉවතට

කොන්දේසි සහිතව විභාගවලට ඉඩ :

නිදොස් බව පෙන්වන්න කරුණු ඉදිරිපත් කළ හැකිය:

සිසු සිසුවියන් බලෙන් රැස්වීමට කැඳවලා:

පසුගිය දින කිහිපයේ වි‍නය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ බවට හදුනා ගනු ලැබු සිසුන් 47 දෙනෙකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාව ඊයේ (03) තීරණය කළේය.

මෙම සිසුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණයක් ගන්නා තෙක් මෙසේ විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට පාලක සභාව තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාලයෙන් නෙරපා හරින ලද සිසුවකුට මේ කාලය අතරතුර විශ්වවිද්‍යාලයේ විභාගයකට පෙනී සිටීමට අවශ්‍ය නම් විශේෂ කොන්දේසි සහිතව ඔවුන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දීමට ද පාලක සභාව තීරණය කර ඇත.

ඒ අනුව එම සිසුන්ට විශ්වවිද්‍යාල ආරක්ෂක අංශය භාරයේ විභාගයට පෙනී සිටිමට අවස්ථාව ලබා දීමට කටයුතු සළසා දීමට නියමිතය .

මෙසේ විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරෙන සිසුන්ට නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දීමට ද පාලක සභාව තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් සිසුන්ට කාල වකවානුවක් ලබා දීමටද තීරණය කර ඇත.‍

සබරගමු විශ්වවිද්‍යාලයේ පසුගිය දා ඇති වු කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට උපකුලපති මහින්ද රූපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වු පාලක සභාව මෙම තීරණවලට එළැඹ තිබේ .

පන්ති තහනම් කරන ලද සිසුන් සිවු දෙනකුගේ පන්ති තහනම අවලංගු කරන ලෙස ඉල්ලමින් පසුගිය සති කිහිපයක සිට විශ්වවිද්‍යාලයේ සිසුන් උද්ඝෝෂණ පැවැත්වු අතර සිසුන් සිවුදෙනකු උපවාසයක් ද ආරම්භ කළහ. මෙම සිසුන්ට සහාය දක්වමින් විශ්වවිද්‍යලයේ සිසුන් දඹුල්ල කොළඹ මාර්ගය අවහිර කරමින් පසුගිය සෙනසුරාදා උද්ඝෝෂණයක් පැවැත්වු අතර මේ නිසා පැය 6 ක පමණ කාලයක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇති විණි . පොලීසිය සිසුන්ට ඉවත් වන ලෙස දැනුම් දුන්න ද එය නොතකා සිසුන් මාර්ගය අවහිර කළ නිසා සිසුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරිමට පොලිසියට සිදු විය..

මෙහිදි සිසුන් හා පොලීසිය අතර ඇති වු ගැටුමකින් සිසුන් 20 ක් හා පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා තිබේ.

ශිෂ්‍යාවන් රාත්‍රී 8 ට පෙර දේශන නිම වී නේවාසිකාගාරවලට වාර්තා කළ යුතුය යන්න නීතියක් නේවාසිකාගාරවල තිබියදී පසුගිය දිනෙක බලහත්කාරයෙන් සියලු සිසු සිසුවියන් විශ්වවිද්‍යාල භූමියට ගෙන්වා රාත්‍රී 12 න් පසු වන තෙක් දේශපාලන රැස්වීමක් පැවැත්වීමටත් සිසුවියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කිරීමටත්, උපකුලපතිවරයාගේ නිල නිවස පරිශ්‍රය අපවිත්‍ර කර උපකුලපතිවරයා පීඩාවට පත් කිරිමත්, පීඨාධිපතිවරුන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීමත් ඇතුළු තවත් විනය විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ වු සිසුන් 47 දෙනකු මෙසේ විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබේ .

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා