මේ වසරේ මාර්ග සංවර්ධනයට බිලියන 140ක මුදලක් වෙන් කළා

මේ වසරේ මාර්ග සංවර්ධනයට බිලියන 140ක මුදලක් වෙන් කළා

 ඇමැති නිර්මල කොතලාවල කියයි

මෙරට මාර්ග සංවර්ධන ක්ෂේත්‍රයේ විප්ලවීය වසරක් වන මෙම වර්ෂයේ මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය රුපියල් බිලියන 140ක් වෙන්කර ඇති බව ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි.

මේ යටතේ ප්‍රධාන අධිවේගී මාර්ග අබලන් පාලම් හා ප්‍රධාන මාර්ගවල පිළිසකර වැඩට අමතරව ගම් දහසක් යා කිරීමේ වැඩසටහන යටතේ පළාත් මාර්ග හා ගම්වලට ප්‍රවේශ වන මාර්ග සංවර්ධනයට කටයුතු කරන බවද ඇමැතිවරයා පවසයි.

මෙම වසරේ මුල් කාර්තුවේදී අධිවේගී මාර්ග දෙකක් ජනතා අයිතියට පත් කෙරෙන අතර මේ යටතේ දකුණු අධිවේගී මාර්ගයේ දෙවන අදියර ගාල්ල පින්නදූවේ සිට මාතර දක්වා වන කොටස හා කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාවේ සිට කඩුවෙල දක්වා වන මාර්ගයද විවෘත කිරීමට නියමිතය. මේ අතර මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් කටයුතු සහ යෝජිත උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්ද මේ වසරේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව ප්‍රංශ රජයේ ආධාර යටතේ අලුතින් යකඩ පාලම් හතළිස් හයක් ද ජපන් රජයේ ආධාර මත නව පාලම් විසි පහක් ද ඉදිවෙයි.බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘතිය සඳහා දැනටමත් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 2.6 ක් වේ.

සවුදි අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන හැටක් ද ඔපෙක් අරමුදල මගින් අමෙරිකානු ඩොලර් හත් දහස් හය සියයක් ද මෙරටට ප්‍රදානය කොට තිබේ. ජනාධිපතිතුමා විසින් මෙම වසරේ ග්‍රාමීය පාලම් ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන එකසිය පනහක මුදලක් ද “මග නැගුම” ග්‍රාමීය මාර්ග වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන හත් දහසක මුදලක්ද වෙන් කර දී ඇත.

හදිසි නායයෑම් වැනි ව්‍යසනවලින් මාර්ග ආරක්ෂා කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක්ද මේ වසරේ ඇරඹෙන අතර ඒ වෙනුවෙන් ජපන් රජයේ ආධාර රුපියල් මිලියන හත් දහසක් හා දේශීය අරමුදලින් රුපියල් මිලියන තුන් දහස් තුන් සියයක් ද වැය කෙරෙන බව ඇමැති වරයා වැඩිදුරටත් පැවසීය.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා