පස් හැවිරිදි සිඟිත්තියගේ බෙල්ලට උණු වතුර දමා පුච්චලා

පස් හැවිරිදි සිඟිත්තියගේ බෙල්ලට උණු වතුර දමා පුච්චලා

මව මානසික ආබාධ සහිත කෙනෙක්: පියා පවුල අතැර ගිහින්

කෲර ලෙස පහර දුන් පුංචි අම්මා දැලේ

අලවතුගොඩ ප්‍රදේශයේ පස් හැවිරිදි දැරියකගේ ගෙලට උණු දිය වත්කර පුළුස්සා කෲර ලෙස පහරදුන් බව කියන දැරියගේ පුංචි අම්මා පොලිසිය පෙරේදා (07) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

පිළිස්සුනු දරුවා මේ වනවිට අකුරණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. මේ අනුව දැරිය රැක බලාගත් බව කියන සැකකාර පුංචි අම්මා අත්අඩංගුවට ගෙන තිබේ.

මිට සතියකට පමණ පෙර පිළිස්සීම සිදුකර ඇති බවට හෙළිව තිබෙන අතර සිය පුංචි අම්මා තමාට උණුදිය වත්කර පිළිස්සූ බව දැරිය පොලිසියට පවසා තිබේ.

දැරියගේ පියා වෙන්ව යාම නිසා වෙන්වූ පියා ගේ තාත්තා විසින් මේ දැරිය හදාවඩා ගැනිමට රැගෙන ගොස් ඇතත් නැවත දැරියගේ පුංචි අම්මා දැරිය තම බාරයට ගෙන තිබෙන බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ මගින් හෙළිවෙයි.

පිළිස්සිමට ලක්ව ඇති දැරිය ගේ මව විවාහ තුනක් සිදුකරගෙන ඇති අතර මේ දැරිය තෙවැනි පුරුෂයාගේ බවද ඔහු හැරයාමෙන් පසු විදෙස් රටක සේවයට යාමට දැරිය පුංචි අම්මාගේ බාරයට මව විසින් යොමුකර විදෙස් ගතව සිට ඇති බවද පොලිසිය පවසයි.

පසුව දැරියගේ මවට මානසික ආබාධයක් ඇති බව කියා මෙරටට එවා ඇත. මේ අනුව දැරිය පුංචි අම්මා බාරයේම හැදී වැඩී ඇති බව කියයි. දැරියට උණු දිය වත් නොකළ බවත් එය වැරදීමකින් සිදු වූවක් බවත් සැකකාරිය පොලිසියට පවසා තිබේ.

මේ පිළිබඳ අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ආර.එම්.කේ බණ්ඩාර, සැරයන් 28928 මීගම්මන, කාන්තා සැරයන් 343 දයාවතී ඇතුළු පිරිස සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වති.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා