කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු

කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු

ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

”මේ ප්‍රශ්නය ඇති වන්නේ අලූත් පනත ආවට පස්සේ මුල දී අයවැය පරාජය වීම හරහා සභාපතිවරයා එළියට දාන්න බෑ. කොහොම වුණත් මම නම් දකින්නේ අලූත් පනතේ එන ඒ වගන්තිය බොහොම ප්‍රජාතන්ත්‍රවාදී එකත් කියලයි.

සභාපතිවරයාත් මන්ත්‍රිවරුනුත් පුළුල් දැනුවත් භාවයකින් යුක්ත පිරිසක් විය යුතු බවයි මගේ හැඟීම. මන්ත්‍රිධූරයත් සභාපති ධූරයත් ලබා ගැනීම පමණක් නොවෙයි සහයෝගයෙන් සභාවක් පවත්වා ගෙන යන්නේ කොහොම ද කියන එකත් ඉදිරියේදි වැදගත් වෙනවා.” (රිවිර 5.1.2014)

මෙහෙම කියන්නේ ඛනිජ තෙල් අැමැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් හා පොදු ජන එක්සත් පෙරමුණේ භාණ්ඩගාරික අනුර ප්‍රියදර්ශන යාපා ඇමැති තුමායි. කවදත් නිවි සැනසිල්ලේ මැද තැනක සිට ප්‍රශ්නයක් දෙස බලන අනුර ප්‍රියදර්ශන ඇමැතිවරයා ප්‍රාදේශීය සභාවල අය වැය පරාජය වීම වත්මන් රජයට අභියෝගයක් ලෙස දකින්නේ නැහැ.

ඒ වෙනුවට ඔහු කල්පනා කරන්නේ පළාත් පාලන දේශපාලනයේ මීට ඉහත පැවැති ව්‍යුහයට වඩා ප්‍රජාතන්ත්රවාදී ස්වරූපයක් වත්මන් සංයෝධනය මගින් උදා වී ඇති බවයි.

එදා ගමේ ‘මැම්බර් මහතා’ හා ‘සභාපති මහත්තයා’ සමස්තයක් වශයෙන් බොහොම අහිංසක විදියට පවත්වා ගෙන ගිය පළාත් පාලන දේශපාලනය උඩු යටිකුරු වූයේ 1978 සිදු වූ පෙරලිකාර සංශෝධනයෙන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. සභාපතිවරයෙකුට අසීමිත බලයක් ලැබෙන, මනාපයෙන් මන්ත්‍රිවරුන් තෝරා වත්මන් ක්‍රමය පළාත් පාලන කෙයට ආදේශ වූයේ පසුගිය 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලනය මඟින්. මේ සමඟම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට (සභාපති, නගරාධිපති අසීමිත බලයක් ද ලැබුණා.

එහෙත් ජනතාවට වග කියන නිශ්චිත කොට්ඨාශයකින් තේරී පත් වන සභිකයෙකු අදාල බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට ලැබුණේ නැහැ. සභාපතිවරයෙකු වීමට අවශ්‍යය වූයේ කෙසේ හෝ වැඩි මනාප ප්‍රමාණයක් සොයා ගැනීම පමණයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ දී නම් අය වැය පරාජය වුණොත් ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන. එහෙත් පළාත් පාලන ආයතනය එහෙම නෑ. පළවෙනි වර දෙවැනි වර අවස්ථා දෙකේ දීම පරාජය වූ අයවැයක් තුන්වැනි වර ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය සම්මත වූවා සේ සැලකෙනවා.

සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු නැහැ. මේක අරුම පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්. තුන්වැනි වර ඉදිරිපත් කර පරාජය වුණත් දිනුවා සේ සැලකීම කොහොම ද ප්‍රජාතන්ත්‍රවාදි වෙන්නේ. එහෙත් එක්සත් ජාතික පක්ෂ රජය 1978 ඇති කළ පළාත් පාලන පනතට අනුව ඒක ප්‍රජාතන්ත්‍රවාදී කියලයි අර්ථ කතනය වෙන්නේ.

මෙය පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙකුට අත්තනෝමතිකව හැසිරීමට ලයිෂන් එකක් දුන්නා වගෙයි. එහෙම ‘ඔටෝ’ අයවැය සම්මත වෙනවා නම් ඔහු ස්වභාවිකව අනෙක් සභිකයනට ඇහුම් කන් දීමට පෙළෙඹෙන්නේ නැහැ. හිතුවක්කාර වෙනවා.

මේ නිසා සමහර තැනක ප්‍රාදේශීයව හිතුමතයට වැඩ කරන ඒකාධිපතියන් බිහි වුණා. පළාත් දේශපාලනය ජාතික තලයට නායකයන් බිහි කරන ප්‍රාථමික දේශපාලන අභ්‍යාස ආයතනයක් සේ ප්‍රකටයි. එවැන් තැනකින් අන් අය සමඟ සහයෝගයෙන් වැඩ කළ නොහැකි මානසික මට්ටමක් ඇති අයෙක් බිහිවන්නේ නම් එය ජාතික දේශපාලනයට ද යහපතක් වන්නේ නැහැ.

වත්මන් රජයෙ පසුගිය දා පනතක් මගින් වෙන් කරනු ලැබුවේ පළාත් දේශපාලනයේ මෙමප්‍රජාත්‍රර විරෝධී පසුබිමයි. නැතිනම් ප්‍රගතිශීලි කරණු ලැබුවේ පෙර පැවැති ප්‍රතිගාමි පසුබිමයි.

අය වැය දෙවරක් පරාජය වුවහොත් සභාපතිවරයා ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් අස් වූවා සේ සලකණු ලබන වගන්තිය පළාත් පාලන පනතට එක් වීමෙත් සමඟ සමහර ප්‍රාදේශීය සභාවල අය වැය පරාජය වෙන්න පටන් ගත්තා. මෙය අයවැය පරාජයටත් වඩා සභාපතිවරයාට පාඩමක් ඉගැන්වීමට සමහරු පාවිච්චි කරන බවක් පෙනෙනවා. එයත් වැරැදියි.

එක් වරක් පරාජය වීමෙන් පසු දෙවැනි වර කාගේත් යෝජනා හා චෝදනා සැලකිල්ලට ගනිමින් නැවතත් අය වැය ඉදිරිපත් කිරීමේ හැකියාව පළාත් පාලන ආයතනයක සභාපතිවරයෙකුට ලැබෙනවා. මේ නිසා පළමු වර පරාජයට පත් වී දෙවැනි වර ජයගත් ආයතන මේ අතර දක්නට ලැබෙනවා.

‘සභාපතිට දිගින් දිගටම අදාළ පළාත් පාලන ආයතනය තුළ මන්ත්‍රි වරුන්ගේ විශ්වාසය දිනා ගැනීමට ක්‍රමයක් තිබිය යුතුයි. ඒ නිසා ම මෙය වඩාත්ම ජනතාවාදී කිරීමට පැරණි වගන්තිය ඉවත් කර තිබේ.’

”මේ කොටස සංශෝධනය ඇතුළත් කර තිබුණේ සභාපතිවරයා හෝ නගරාධිපති ඉවත් කිරීමට නොවේ. සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා අදාළ පළතේ පාලන ආයතනයේ සෙසු මන්ත්‍රිවරුන් සමඟ සහයෝගයෙන් වැඩ කර ගැනීම සඳහා ය.

මින් ගම්‍ය වනුයේ බලධාරියා සහයෝගයෙන් වැඩ නොකළොත් උද්ධච්චකමින් උඩඟු කමින් හැසිරුනෝතින් අත්තනෝමතිකව හැසිරුනෝතින් මම ඒකාධිපතියෙක් වුණහොත් ‘මාව අනිවාර්යයෙන් ම පරාජයට’ පත් කරයි යන විශ්වාසයයි. (මහාචාර්ය සුදන්ත ලියනගේ 5.1.2014 ලංකාදීප.

මහාචාර්යවරයා වෙන විදියකට සඳහන් කරන්නේ ද අනුර ප්‍රියදර්ශන ඇමැතිවරයා දරන මතය ම බව පැහැදිලියි. කේවල හා මනාප ක්‍රමය විග්‍රහ කරනු ලැබු නව මැතිවරණ ක්‍රමයක් මෙම ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබීමෙන් ආණ්ඩුවේ අපේක්ෂාව පැහැදිලියි. එනම් මේ ක්ෂේත්‍රය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදි කිරිමයි.

එහෙත් සමහර තැනක ඊට පටහැනි දේ ද සිදු වෙමින් පවතිනවා. සමහරු පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට ඉවත් වීමට සිදු වී තිබෙන්නේ අය වැය සකස් කිරීමේ අඩුවකින් හෝ තම පාක්ෂික සගයින්ගේ ඕනෑ එපාකම් හා යෝජනා ඊට ඇතුළත් නොකිරීම නිසා ම නොවෙයි. එම සභාපතිවරුන්ගේ හඬට ඇහුම්කන් දීමේ දී ප්‍රකාශවන්නේ ඊට වෙනස් මතයක්.

”මම වඩාත් ම ප්‍රජාතන්ත්‍රවාදී වුණා.

දුෂණ අක්‍රමිකතා ඇති වීමට තිබූ ඉඩකඩ ඇහිරුවා.

හැම දෙනාම සමඟ කතා කළා.

එකඟ වෙලා ගිහින් අනෙක් පැත්තට දුන්නා.

මේ සමහර සභාපතිවරුන් මාධ්‍යට පවසා ඇති කාරණායි

මේ අදහස් අනුව නම් අදාළ සභාපතිවරුන්ගේ පරාජයට අනියමින් හේතු වී තිබෙන්නේ ආසන සංවිධායක වරයා වගෙයි. ඊට හේතුව දෙවැනි තනතුරේ හෝ සභික ධුරයක සිටින ඥතියා ගෙන එ්මටද යන්න පැහැදිලි නැහැ.

”එහෙම වෙන්නේ කොහොම අදාල පරාජයෙන්

කොටසක් මටත් බාර ගන්න වෙනවනේ

වැඬේ වරද්ද ගෙන සමහරු අන්තිමට කියනනේ

ඔය වගේ කතා තමයි.”

පරාජිත සමහර සභාපතිවරු එල්ල කරන ඥති සංග්‍රහ චෝදනාවලට ආසන සංවිධායකලා පිළිතුරු දෙන්නේ මෙලෙසින්.

සමහර සංවිධායකවරුනට දෙස්දෙවොල් තියමින් පරාජිත පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පවසන සියල්ලම සත්‍ය නොවෙයි. එසේ ම සමහර අාසන සංවිධායක කළා. බබාලා ද වන්නේ නැහැ. කගේ කාගේත් කිල්ලෝටවල හුණු තිබෙන බව මේ අර්බුදයෙන් පැහැදිලි වෙනවා.

මේ අතර විපක්ෂයක් දිනා ගෙන වැඩි ඡන්දයෙන් හා එකඡන්දයෙන් අය වැය සම්මත කළ පළාත් පාලන ආයතන ද තිබෙනවා. කඩුවෙල හා හබරාදුව ඊට හොඳ නිදසුන්. කඩුවෙල සිටින්නේ පැසුණු දේශපාලඥයෙක්. හබරාදුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන්නේ හිරිමල් වියේ තරුණයෙක්. පළාත් දේශපාලනයේ දී මේ දෙදෙනාට සාර්ථක වී තිබෙනවා. එසේ ම නම සඳහන් නො කළ ද තවත් බොහෝ තැන් ජාම බේරා ගෙන තිබෙන්නේ විපක්ෂයේ ද සහාය ලබා ගනිමින්.

ආසන සංවිධායක ජාතික තලයේ දේශපාලනයේ නියැලෙන ප්‍රබලයෙක් නම් තමා නියෝජනය කරණ පළාත් පාලන ආයතනයේ සභිකයින් සමඟ මෙන් ම ඔහු සමඟ ද සහයෝගයෙන් කටයුතු කිරීමට අනිවාර්යයෙන් පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට ද සිදු වෙනවා. මේ නිසා නව සංශෝධනයේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණ වර ප්‍රබල කෙනෙක් තම ප්‍රදේශයේ පළාත් දේශපාලනයේ ප්‍රධානීන් මෙල්ල කිරීමට පාවිච්චි කිරීමටත් ඉඩ තිබෙනවා.

ඉදිරියේ දී පළාත් පාලන දේශපාලනයේ සිදු වන ප්‍රජාතන්ත්‍රිය වෙනස නැතිනම් කේවල මනාප ඡන්ද ක්‍රමය තවමත් ජාතික දේශපාලන තලයට ආදේශ නොවීම ඊට එකක් හේතුවක්. ආසන මට්ටමින් ජාතික දේශපාලන නියෝජනය කරන සංවිධානකවරයාට ද මනාප ක්‍රමයෙන් බැහැරව ආසනයට බලපාන දේශපාලනයක නිරතවීමට සිදු වන්නේ නම් ඔහු ද ප්‍රාදේශීය දේශපාලන බලවතුන් සමඟ ප්‍රශ්න ඇති කර ගැනීමට සුදානම් වන්නේ නැහැ.

මෙහි දී වඩා වඩාත් හොඳ වූ දේශපාලන සංස්කෘතියක් පළාත් පාලන ආයතන මට්ටමට පමණක් ආදේශ වන්නේ නම් තම සිතැඟි පරිදි ප්‍රාදේශීය දේශපාලන බලවතුන් මෙල්ල කිරීමේ හෙන්ඩුව පාර්ලිමේන්තු ආසන සංවිධානයකාවරුන්ට ලැබීම ස්වභාවිකයි, සමහරු එය ප්‍රජාතන්ත්‍රවාදි නොවන ආකාරයටත් පාවිච්චි කිරීමට ඉඩ තිබෙනවා. මේ නිසා රටක ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් කම් එක් ක්ෂේත්රයක සිල්ලරට නොව සමස්තයක් වශයෙන් මුළු රටටම බලපාන අයුරින් සිදු විය යුතුයි.

එසේ නොවන තාක් කල් පළාත් පාලන ආයතනවල අය වැය පරාජයට පත් කරමින් සභාපතිවරුන් වෙනස් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියටත් සිදු විය හැකියි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සිදු වන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වීමටත් ඉඩ තිබෙනවා. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්ද පැවැත්වීම හා එමගින් ජය පරාජය උරුමකර දීම පමණක් වන්නේ නැහැ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා