බ්‍රිතාන්‍යයේ ඡන්ද දායකයන්ට අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය කෙරේ

බ්‍රිතාන්‍යයේ ඡන්ද දායකයන්ට අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය කෙරේ

එරට දකුණු ආසියාතිකයන්ගේ වංචනික ක්‍රියා ගැන කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක්

බ්‍රිතාන්‍යයේ ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය අනන්‍යතාව තහවුරු කළ යුතු බව එරට මැතිවරණ කොමිසම ‍ඊයේ ප්‍රකාශ ක‍ළේය.

ඔවුන් මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ එරට සිටින දකුණු ආසියාතිකයන් සම්බන්ධ වංචනික සිද්ධි පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කරමිනි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිටින පකිස්තාන හා බංග්ලාදේශ ජාතිකයන් මැතිවරණ වංචනික ක්‍රියාවන්ට නැඹුරුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇති බව මැතිවරණ කොමිසම කියා සිටී.

සෑම ඡන්ද මධ්‍යස්ථානයක දී ම ඡන්ද දායකයාගේ අනන්‍යතාව තහවුරු විය යුතු බව නි‍ර්දේශ කිරීමට මැතිවරණ කොමිසම පෙළඹුනද චෝදනා රැසකට මුල්වී ඇති තැපැල් ඡන්ද ප්‍රකාශනය සීමා කළ යුතු බවට කෙරෙන ඉල්ලීම් ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ එවැනි ක්‍රියාවකින් අහිංසකයන් රැසකට ඡන්ද ප්‍රකාශනය අහිමිවනු ඇති බව පෙන්වා දෙමිනි.

2002 සිටම උතුරු අයර්ලන්ත ඡන්ද දායකයන්ට ඡන්ද මධ්‍යස්ථානවල දී ඡායාරූපමය අනන්‍යතාවක් ඉදිරිපත් කළ යුතුව තිබේ.

උතුරු අයර්ලන්තය හැර බ්‍රිතාන්‍යයේ සෙසු ප්‍රදේශවල දී ඡන්ද දායකයන් මැතිවරණ ලේඛනයේ ලියාපදිංචිව ඇති පරිදි නම හා ලිපිනය ඉදිරිපත් කිරීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත්ව තිබේ.

එහෙත් 2010 මහ මැතිවරණයේ දී ඡන්ද දායකත්වය හිමි වයස් සිමා‍වට සිවුවසරක් අඩු 14 හැවිරිදියකුට පවා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබි තිබේ.

මේ නිසා කොතෙක් දුරට මේ ඡන්ද වංචාවන් සිදුවන්නේ ද යන්න විමසීම මැතිවරණ කොමිසම අරඹා ඇති අතර එහිදී පකිස්තාන හා බංග්ලාදේශ ජාතිකයන් වැනි විශේෂිත ප්‍රජාවන්ගේ ඊට ඇති සම්බන්ධය සොයා බැලෙන බව ප්‍රකාශ වී තිබේ.

බ්‍රිතාන්‍යයේ විශාලත්වයෙන් දෙවැනි නගරය ඇතුළු එංගලන්තයේ ප්‍රදේශ 16ක් ඡන්ද වංචා අවදානමට ලක්ව ඇති ප්‍රදේශ ලෙස හඳුනා ගෙන තිබේ.මේ ප්‍රදේශවල පකිස්තාන හා බංග්ලාදේශ ජාතිකයෝ විශාල වශයෙන් පදිංචිව සිටිති.

මේ නිසා ලබන මැයි මස පැවැත්වෙන මැතිවරණවල දී මේ වංචනික ක්‍රියාවන් වළකාලීම සඳහා ඡන්ද දායකයන් ඡන්ද පොළේ දී සිය අනන්‍යතාව තහවුරු කළ යුතු යැයි මැතිවරණ කොමිසම නි‍ර්දේශ කර තිබේ.

මේ නිර්දේශය පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද ප්‍රකාශ වි තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා