රජය සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීමට උත්සාහ නොගත යුතුයි

රජය සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීමට උත්සාහ නොගත යුතුයි

රජය සතු ඉඩම්වල දීර්ඝ කාලයක පටන් අනවසරයෙන් පදිංචිව සිටින පදිංචිකරුවන්ට නීත්‍යානුකූල ඉඩමක අයිතිය ලබාදීමට වත්මන් රජය සුදුසු ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන බවත් මෙසේ රජය සතු ඉඩම්වල අනවසරයෙන් පදිංචි වීමට මහජනතාව තවදුරටත් උත්සාහා නොගත යුතු බවත් රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගැනීම සියලු දෙනාගේම වගකීමක් වන බවත් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ අතුරුගිරිය, ශාන්තාලෝක ග්‍රාමයේ පැවැති ඇමැති ජංගම සේවාවේදීය.

එහිදී අතුරුගිරිය, ශාන්තාලෝක ග්‍රාමයේ පිහිටි ග්‍රාමෝදාගම දෙවන අදියර නිවාස ක්‍රමයේ පදිංචිකරුවන්ගේ දීර්ඝකාලීන ගැටලු රැසකට විසදුම් ලබා දෙන ලදී.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු මේ ඉඩම්වල 1989 වසරේදී පවුල් 57 ක පිරිසක් අනවසරයෙන් පදිංචි වී ඇති අතර අද වන විට එම පිරිස අතුරින් 35 දෙනෙකු මුල් පදිංචිකරුවන් වේ. ඉන් 12 දෙනෙකු මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් මිලදීගෙන පසුව පදිංචි වූ අය වෙති.

මේ පදිංචිකරුවෝ දීර්ඝකාලයක් මුළුල්ලේහි නීත්‍යානුකූල ඉඩමක අයිතිය තමන් වෙත නොලැබීමෙන් දුෂ්කරතාවයයන්ට පත් වී තිබේ.

මේ පිළිබඳ අවධානය යොමු කළ විමල් වීරවංශ ඇමැතිවරයා විසින් 1989 වසරේ සිට මේ දක්වා මේ ඉඩම්වල පදිංචිව සිටින මුල් පදිංචිකරුවන් සඳහා 1989 වසරේ තක්සේරු වටිනාකමට අනුව එම ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

එමෙන්ම මුල් පදිංචිකරුවන්ගෙන් ඉඩම් මිලදීගෙන පසුව පදිංචි වූ පිටස්තර පදිංචිකරුවන් සඳහා සුදුසු සහනදායී ක්‍රමවේදයක් අනුගමනය කොට එම ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීමෙන් පසු එම වටිනාකමට අනුකූලව එම පිරිස් වෙතද ඉඩම්වල නිත්‍යානුකූල අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමටද මෙහිදී තීරණය කෙරිණ.

මේ පදිංචිකරුවන් අඩු ආදායම්ලාභීන් පිරිසක් වීම නිසා මේ ඉඩම්වල තක්සේරු වටිනාකම වසර 10 ක සහනදායී ගෙවීමේ පදනම යටතේ ගෙවා නිම කිරීමට අවස්ථාව ලබා දි ඇත.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා