ජනාධිපති කුසලාන පාසල් රගර් ශූරතාව ඉසිපතන විදුහලට

ජනාධිපති කුසලාන පාසල් රගර් ශූරතාව ඉසිපතන විදුහලට

සැලසුම් සහගත ක්‍රීඩා රටාවත්, දැඩි අධිෂ්ඨාන ශිලිත්වයත් මත රාජකීය විදුහල් පිලට එරෙහිව ලකුණු 27-22ක විශිෂ්ට ජයක් වාර්තා කළ ඉසිපතන විදුහල් පිල අන්තර් පාසල් අවුරුදු 20න් පහළ ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ මයිලෝ රගර් තරගාවලියේ ශූරතාව 6 වැනි වරටත් දිනා ගැනීමට ඊයේ සමත්විය.

රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගය තියුණු මුහුණුවරක් ගත් අතර අවස්ථා කිහිපයකදීම කණ්ඩායම් දෙක එකිනෙකා පරයමින් පෙරමුණ ගැනීම විශේෂත්වයකි. තරගයේ මුල් භාගය නිමාවනවිට ලකුණු 12-8කින් පෙරමුණ ගත් ඉසිපතනය තරගය නිමා කළේ ගෝල් 2ක්, උත්සාහක දිනුම් 2ක් හා දඩුවම් පහරක් රැස්කර ගනිමිනි. රාජකීය විදුහල් පිල ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් වාර්තා කළේය.

තරගය පුරා කැපීපෙනෙන දස්කම් පෑ ඉසිපතන විදුහලේ අංක 8ක ක්‍රීඩක ඕමල්ක ගුණරත්න උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

එය මෙවර තරගාවලියට අලුතින් එක්කරනු ලැබු අංගයකි. මීට අමතරව ඩිලාන් ගාල්ලගේ සහ ගනුක දිසානායක උත්සාහක දිනුම් වාර්තා කළහ. රාජකීය විදුහල් පිල වෙනුවෙන් සවුකට් ලාහීර්, නායක නිම්ෂාන් ජයවර්ධන හා සුපුන් වර්ණකුලසූරිය උත්සාහක දිනුම් වාර්තා කළහ.

අවසන් තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සහභාගිවූ අතර විශේෂ ආරාධිතයකු ලෙස තරගාවලියට අනුග්‍රහය දැක්වු නෙස්ලේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගනේෂන් අම්බලවානිර් මහතා සහභාගි විය. එම සමාගමේ උසස් නිලධාරීන්, ශ්‍රී ලංකා පාසල් රගර් සංගමයේ ප්‍රධානීන්ද මේ අවස්ථාවට එක්වූහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා