ආරම්භක පිතිකරු උපුල් තරංග වසර 6කට පසු ටෙස්ට් සංචිතයට

ආරම්භක පිතිකරු උපුල් තරංග වසර 6කට පසු ටෙස්ට් සංචිතයට

දකුණු අප්‍රිකාවට එරෙහි තරග 2කින් සමන්විත ටෙස්ට් තරගමාලාවට ආරම්භක පිතිකරු උපුල් තරංග කැඳවා තිබේ. ඔහු ශ්‍රී ලංකා ‍ටෙස්ට් සංචිතයට එක්වී ඇත්තේ වසර 6කට පසුවය. අවසන් වරට ඔහු 2007 වසරේ එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයට සහභාගි විය.

29 හැවිරිදි උපුල් තරංග මේ දක්වා ටෙස්ට් තරග 15කට සහභාගි වී ලකුණු 713ක් රැස් කර ඇති අතර ඊට ශතකයක් හා අර්ධ ශතක 3ක් ඇතුළත්ය. ඔහු කණ්ඩායමට ඇතුළත්වී ඇත්තේ එංගලන්ත සංචාරයේදී ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ දිමුත් කරුණාරත්න වෙනුවටය. ඒ අනුව උපුල් තරංග සහ කෞෂාල් සිල්වා ඉනිම ආරම්භ කරනු ඇත.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවට නම් කොට ඇති 15දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දිමුත් මෙන්ම වේගපන්දු යවන නුවන් කුලසේකර ද ඇතුළත්වී නොමැත. කුලසේකර ටෙස්ට් සංචිතයෙන් ඉවත්කොට ඇත්තේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. මේ අතර එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගමාලාව අතරතුර ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ කඩුලු රකින ප්‍රසන්න ජයවර්ධනගේ තත්ත්වය තවමත් යහපත් අතට හැරී නොමැති බැවින් මැදපෙළ ශක්තිමත් කිරීමට කිත්රුවන් විතානගේ කැඳවා තිබේ.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්ට කඩුලු රැකීමේ කාර්යය පැවැරෙනු ඇත. එංගලන්ත සංචාරය අතරතුර ආබාධයකට ලක්ව සිටි සුරංග ලක්මාල් ද නැවත කණ්ඩායමට එක්වී සිටී. වසර එකහමාරකට පසුව වේගපන්දු යවන චානක වෙලගෙදරට ද ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය හිමිවී ති‍බේ. රංගන හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා දඟපන්දු යැවීමේ අංශය සවිමත් කිරීමට අජන්ත මෙන්ඩිස් සහ දිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක්වී සිටිති.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ උපනායකයා ලෙස ළහිරු තිරිමාන්න කටයුතු කරයි. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු‍ ටෙස්ට් තරගය ලබන 16වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 24වැනිදා එස්.එස්.සී‍.පිටියේ දී ඇරැඹේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මෙසේය- ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), උපුල් තරංග, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ෂාමින්ද එරංග, ධම්මික ප්‍රසාද්, චානක වෙලගෙදර.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා