අපි හැම අංශයකින්ම අසාර්ථකයි

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවේ දී පළමු එක්දින තරගාවලි ජය ලබයි

අපි හැම අංශයකින්ම අසාර්ථකයි

- නායක මැතිව්ස්

මේ තරගයේ අපි ක්‍රීඩා කළ ආකාරය අන්තිම දුර්වලයි. අපේ පන්දු යැවීමත්, පන්දු රැකීමත් දුර්වල මට්ටමක තිබුණා. ඒ වගේම පිතිහරඹයේදිත් දස්කම් අතරට පැමිණීමට අපට නොහැකිවුණා. තරගයේ ජයග්‍රහණයට දකුණු අප්‍රිකාව ආරම්භ‍යේ සිටම සුදුසුකම් ලබාගත්තා.’ දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා භූමියේ පළමු එක්දින තරගාවලි ජයග්‍රහණය හිමිකරදෙමින් ශ්‍රී ලංකා පිල පෙරේදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 82කින් පරාජය වීමෙන් පසුව නායක ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය. තරගයේ ජයග්‍රහණයත් සමග 2-1කින් තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට හිමිවිය.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 339ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඕවර 44.3 කදී ලකුණු 257කට දැවී ගි‍යේය.

දකුණු අප්‍රිකානු ඉනිම වර්ණවත් කළ ආරම්භක පිතිකරු කුවින්ටන් ඩි කොක් ලකුණු 128ක් රැස් කළේය. ඔහු ඊට පෙර ලකුණු 38දි සචිත්‍ර සේනානායකගේ පන්දුවකට ලබා දුන් උඩපන්දුව අෂාන් ප්‍රියංජන අතින් ගිලිහී ගිය අතර ලකුණු 71දි රංගන හේරත්ගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකින් දවා ගැනීමට තිබූ අවස්ථාව කුමාර් සංගක්කාර අතින් මඟ හැරිණි.

පළමු කඩුල්ලට හෂීම් අම්ලා සමග එක්ව ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කොක් අනතුරුව නායක ඒ.බී.ඩිවිලියර්ස් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 116ක සම්බන්ධතාවක්‍ ගොඩ නැගීමට සමත්විය. කොක්ට අනගි සහායක් ලබාදුන් නායක ඩිවිලියර්ස් ලකුණු 108ක් ලබා ගත්තේය. පන්දු 127කට මුහුණ දුන් කොක් හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් එල්ල කළේය.

කොක්ගේ දැවීයාමෙන් පසුව පිටියට පැමිණි මැදපෙළ පිතිකරු ජේ.පී.දුමිනි පන්දු 24කදී ලකුණු 29ක් ලබා ගනිමින් සිය නායකයාට අනගි සහයක් ලබාදුන්නේය. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 80ක සම්බන්ධතාවක් ගොඩ නැගිණි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඩිවිලියර්ස් පන්දු 71කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 108ක් ලබා ගත්තේය.

‘මම හිතන්නේ දකුණු අප්‍රිකාව ලකුණු 20 ක් හෝ 30ක් වැඩිපුර ලබාගත්තා. අපේ පන්දු රැකීම සැලකිය යුතු මට්ටමක තිබුණේ නෑ‍. අපේ රටේ ක්‍රීඩාංගණවල තත්ත්වය හොඳින්ම දැන සිටින නිසා අපි සාර්ථකව ක්‍රීඩා කළ යුතුව තිබුණා. දකුණු අප්‍රිකාව ඉතා දක්ෂ කණ්ඩායමක්. අපිට ඔවුන් සැහැල්ලුවට ගන්න බෑ.’ මැතිව්ස් කීවේය. ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වූ කුසල් ජනිත් පෙරේරා හා තිලකරත්න ඩිල්ෂාන් සාර්ථක ආරම්භයක් ලබා දුන්න ද කුසල් ජනිත් ලකුණු 37කට දැවී යාමෙන් පසු පිටියට පැමිණි කුමාර් සංගක්කාර සමග යහපත් සන්නිවේදනයක් පවත්වාගැනීමට ඩිල්ෂාන් අසමත්විය. ඔහු ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු 30ක් ලබා සිටිය දී දුවද්දී දැවීයාම ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීමට ප්‍රබලතම සාධකය විය.

ඩිල්ෂාන්ගේ දැවීයාමෙන් පසුව පිටියට පැමිණි මහේල ජයවර්ධන ‍ඉක්මනින්ම දැවී ගිය අතර නායක මැතිව්ස් හුදෙකලා ඉනිමක නිරතවෙමින් ලකුණු 58ක් රැස් ක‍ළ ද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් වූයේ නැත. සංගක්කාර ලකුණු 36ක් සහ අෂාන් ප්‍රියංජන ලකුණු 30ක් ලබා ගත්හ. දකුණු අප්‍රිකානු නායක ඩිවිලියර්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හෂීම් අම්ලාට හිමිවිය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා