මාර්තු 12 ප්‍රකාශනය!

මාර්තු 12 ප්‍රකාශනය!

අපේ දේශපාලන සංස්කෘතියේ සෝදාපාළුව ආරම්භ වූයේ මීට දසක කිහිපයකට පෙර ය. අද එය පවතින්නේ එහි උපරිම අවස්ථාවේ හෙවත් උත්සන්න තත්ත්වයේ යැයි සිතිය හැකි ය. සමහරු එය මජර සංස්කෘතියක් ලෙස හඳුන්වති. තව සමහරු එය කුණු වී ඕජස් ගලන තුවාලයක් ලෙස හඳුන්වති. තවත් සමහරු එය ජාතියේ විනාශය සටහන් කරන මූලික සාධකය ලෙස ද පෙන්වා දෙති. මින් හැඟීයන්නේ බොහෝ දෙනකුට අපේ දේශපාලන සංස්කෘතියේ විකෘතිය වැටහී ඇති බව ය. එය කොතෙක් ද යත්; දූෂිත දේශපාලකයෝ පවා මේ ක්‍රමය විවේචනයට ලක් කරති.

විවේචනය කිරීම එක් අතෙකින් පහසු කටයුත්තකි. වැඩක් නො කර එකිනෙකාට බැණ වදිමින් සුපුරුදු දේශපාලනයෙහි ම යෙදීම තවත් පහසු කටයුත්තකි. දූෂිත දේශපාලනයෙහි යෙදෙමින් තමන්ගේ ම බඩ වඩා ගැනීම තවත් අසිරිමත් කාර්යයෙකි. මේ යාන්ත්‍රණයට හසු වූ මිනිසුන් වෙනසක් අපේක්ෂා කරන්නේ ද නැත. මේ සියලු කරුණු හා සාධක සමඟ සිදු වූ ඇබැද්දිය වන්නේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් පතා වැඩ අල්ලන කෙනකු දක්නට නොවී ම ය. විවේචකයෝ සිටිති. යහපත් වෙනසකට මුල පුරන ප්‍රගතිශීලීහු නැත. ජනතාව හා රට වෙනුවෙන් කැප කිරීමක් කරන අය ද නැත.

මාර්තු 12 ප්‍රකාශනය අපට වැදගත් වන්නේ එය මේ සන්දර්භය තුළ වෙනසකට මූලික අඩිතාලම ඇති කරන බැවින් ය. එම ප්‍රකාශනයේ අරමුණ වන්නේ ජනතාවට වගකියන විශ්වාසවන්ත දේශපාලකයන් හෙවත් මහජන නියෝජිතයන් පත්කිරීම සඳහා පසුබිම සකස් කිරීම ය. නීතියේ ආධිපත්‍යය පිහිටුවීමත්, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමත් එහි සෙසු කාරණා අතර වෙයි. මේ සියල්ල ඇති කළ හැක්කේ සුදුසුකම් සහිත විනයගරුක පිරිසක් පාර්ලිමේන්තුවට හා වෙනත් ප්‍රාදේශීය දේශපාලන ආයතන වෙත පත්කර ගැනීමෙන් ය.

මාර්තු 12 ප්‍රකාශනයේ පළමු පියවර වන්නේ ජනතා නියෝජිතයන් තෝරාගැනීම සඳහා නිර්ණායක පෙන්වා දීම ය. එබඳු නීර්ණායක අටක් හදුන්වා දී තිබේ. පළමු නීර්ණායකය වන්නේ අපරාධවලට සම්බන්ධ අයට මැතිවරණවලට ඉදිරිපත්වීමට ඉඩ නොදීම ය. දෙවන නිර්ණායකය වන්නේ අල්ලස් හෝ දූෂණ හෝ සම්බන්ධයෙන් ‍චෝදනා ඇති අයට මහජන නියෝජිතයන් ලෙස පත්වීමට ඉඩ නොදීම ය. තුන්වන නිර්ණායකය වන්නේ මත්ද්‍රව්‍ය, කැසිනෝ හා ගණිකා වෘත්තිය ආදී සමාජ විරෝධී ක්‍රියාවලියට සම්බන්ධ වූ පුද්ගලයන් ඡන්ද සඳහා ඉදිරිපත් නො කිරීම ය. හතරවන නීර්ණායකය වන්නේ පාරිසරික විනාශය ඇතුළු මහජනයාට හිතකර නොවන ව්‍යාපාරවල නියුතු පුද්ගලයන් දේශපාලකයන් ලෙස පත් කිරීමට ඉඩ නො දීම ය.

පස්වන නීර්ණායකය වන්නේ මීට පෙර දේශපාලන බලය අයුතු ලෙස යොදාගත් පැරැණි දේශපාලකයන් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීම වැළැක්වීම ය. හයවන කොන්දේසිය වන්නේ රටට අහිතකර අගතිගාමී මූල්‍යමය ගිවිසුම්වලට හා ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් මැතිවරණවලට ඉදිරිපත් වීම වැළැක්වීම ය. හත්වන නීර්ණායකය වන්නේ නාම යෝජනා ඉදිරිපත් කරන පුද්ගලයා තම ඡන්ද බල ප්‍රදේශයේ පදිංචිකරුවකු වීම හෝ එම ප්‍රදේශයේ ජනතාව සමඟ සමීප සබඳතා පවත්වන තැනැත්තකු වීම ය. අටවන නීර්ණායකය වන්නේ මැතිවරණයක ඡන්ද අපේක්ෂකයන් තේරීමේ දී තරුණ කොටස්වල නියෝජනය හා කාන්තාවන්ගේ නියෝජනය ගැන සැලැකිල්ල යොමු කිරීම ය. මේ සියලු නිර්ණායක යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සම්බන්ධයෙන් ඉතා වැදගත් සාධක බව පෙන්වා දිය යුතු ය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී එළි දැක්වූ මේ ප්‍රකාශනයට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය එකඟතාව පළ කරමින් අස්සන් තබා ඇත. ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට හෝ මේ නීර්ණායක ප්‍රතික්ෂේප කළ නොහැකි ය. මේ වනතුරු ඊට විරෝධය දක්වන පක්ෂයක් හෝ පුද්ගලයකු හෝ අපට මුණ ගැසී නැත. මේ ප්‍රකාශනය සකස් කර ඇත්තේ පැෆරල් සංවිධානය හා සිවිල් සංවිධාන එකමුතුව මගින් ය. පැෆරල් සංවිධානය ඇතුළු අනෙකුත් සංවිධාන දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනය හා මැතිවරණ නිරීක්ෂණය කර ඇත.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ප්‍රකාශනයට මුළුමනින්ම එකඟතාව පළ කරන අතර එහි කිසිදු වගන්තියකට විරෝධයක් දැක්වීමේ අවශ්‍යතාවක් නැති බව ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද පාර්ලිමේන්තුව ගැන හා එහි නියෝජිතයන් ගැන මහජනයා සැකයෙන් බලන බව ය. ඊට හේතුව එය දූෂිතයන්ගෙන් සමන්විත වීම ය. මන්ත්‍රීවරු රිමාන්ඩ් භාරයට යති. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීම් ලබති. මහජන නියේජිතයන් මෙබඳු තත්ත්වයකට ඇද වැටිය යුතු ද?

ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ සමාජය දීර්ඝ කාලයක් තිස්සේ මෙබඳු දේශපාලන වෙනසක් අපේක්ෂා කළේ ය. එහෙත් ඒකාධිපති දේශපාලන වටපිටාවක් යටතේ ඒ පිළිබඳ උනන්දුව දිගින් දිගට ම හීන වී ගියේ ය. නව දේශපාලන වෙනසත් සමඟ ප්‍රබුද්ධ කණ්ඩායම් යළිත් පෙරට පැමිණ සිටිති. එය රටේ දේශපාලන අනාගතයට වැදගත් ය. මාර්තු 12 ප්‍රකාශනය අනුගමනය කරමින් යහපත් දේශපාලන සංස්කෘතියකට අඩිතාලම දැමීම සෑම පක්ෂයක ම වගකීම බව කිව යුතු ය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා