සහෝදරත්වයේ යාත්‍රාව අගමැති මෝදි විවෘත කරයි

සහෝදරත්වයේ යාත්‍රාව අගමැති මෝදි විවෘත කරයි

මහා භාරතයේ දුර දැක්මක් තිබෙන සදාදරණීය ජනනායකයාණෝ වන අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිඳුන්ගෙන් සිරිලක ලද රන් තිළිණයක් බඳු වූ උතුරු - දකුණු ජන හදවත් රන් හූයෙන් බැඳුණු “සහෝදරත්වයේ යාත්‍රාව” ඓතිහාසික තලෙයිමන්නාරම්තොට - මඩු දුම්රිය මාර්ගය පෙරේදා (14) දහවල් උත්සවශ්‍රීයෙන් විවෘත කැරිණි.

පුරා තිස් වසරක් යුද ශාපයෙන් වෙළී සිරිලක අවිඳු ගණදුරු බිඳ දමා සෞභාග්‍යයෙන් බැබළවීමට ජාතියට නායකත්වය ලබාදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ආරාධනයෙන් මෙරටට සැපත් ශ්‍රී නරේන්ද්‍ර මෝදි අගමැතිඳුන් නිකුත් කළ සංඥාවට අනුව තලෙයිමන්නාරම්තොට ජැටියේ සිට තලෙයිමන්නාරම, මන්නාරම හා තවත් ප්‍රධාන දුම්රියපොළ පහක් පසුකොට නව දුම්රිය පෙරට ඇදුණි.

තලෙයිමන්නාරම්තොට දුම්රිය පොළ භූමිය හා අවට නෙක වර්ණ මල් දමින්, ඉන්දු - ලංකා ජාතික ධජවලින් අලංකාර ලෙස සරසා තිබුණි. ඉන්දු - ලංකා ජාතික ධජ අතට ගත් මන්නාරම්පුර පාසැල් දූ දරුවෝ ජාතික ධජ ලෙළවමින් සිනා හඬ පැතිර වූ අතර, ඔවුහු පෑ හසරැළි මතු සිරිලක සෞභාග්‍යයේ ස්වභාවය ප්‍රදර්ශනය කිරීමක් බඳු විය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රැගත් ගුවන් යානා පෙළ තලෙයිමන්නාරම්තොටට පැමිණෙනවාත් සමඟ ස්වභාවධර්මයේ ආශිර්වාදය ඊට එක්වූයේ මල් වර්ෂාවකිනි. සීත සුළං සමඟ හමා ආ මදනළ එතෙක් මද අව්වේ බැට කමින් සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ විඩාව නිවීමට සමත්කම් දැක්වූහ.

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමන් මාර්ග ප්‍රතිසංස්කරණය, වැඩි දියුණු කිරීම හා නවීන තාක්ෂණය ඊට ඇතුළත් කිරීම යනාදී අරමුණු පෙරදැරිව රුපියල් කෝටි 2530ක වියදමින් නිමා කළ නව දුම්රිය මාර්ගය සැබැවින්ම දර්ශනීය නිමැවුමකි.

තිස් වසරක යුද ශාපයෙන් මිදුණු මාතෘ භූමියේ තලෙයිමන්නාරම්තොට සිට මන්නාරම, මඩු සහ මැදවච්චිය දක්වා දුම්රියක් ධාවනය වූයේ පුරා වසර 25කට පසුවය.

වසර 1987 න් මෙපිට‍ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයකුගේ පා පහස නොලද සිරිලක, යළි අලුත් විදේශ සබඳතා ඇති කරලමින් ඒ බව ලොවට කියාපාමින් සිදුවූ පරිවර්තනයේ සලකුණු තැබු නරේන්ද්‍ර මෝදි මැතිඳුන්ගේ සම්ප්‍රාප්තියෙන් නව දුම්රිය මාර්ගය විවෘත වීම සැබැවින්ම ආශ්වාදජනක ආනන්දනීය මොහොතක් විය.

උතුරු - දකුණු බිඳුණු ජනහදවත් යළිත් සෙනෙහසින්, සහෝදරත්වයෙන් බැඳ තබා ගැනීමට උපකාර වූ මේ නව දුම්රිය මාර්ගය ඔස්සේ රටේ ජනතාවට අත්වන ආර්ථික වාසිය මිණිය නොහැකිය.

උතුරේ ජනතාවගේ කෘෂිකාර්මික, ධීවර, කර්මාන්ත නිපැයුම් දකුණටත්, දකුණේ දිරිමත් මිනිසුන්ගේ නිපැයුම් උතුරටත් එහා මෙහා ගෙන යෑමේ ප්‍රධාන මඟ මෙය වනු ඇත. මෙතෙක් කලක් උතුරු - දකුණු ගමන දුෂ්කර විය. කාලය, අධික වියදම, ආරක්ෂාව මෙන්ම සුව පහසුව මේ නව මාර්ගය යොදා ගැනීමෙන් ජනතාවට අත්වීමට සිදුවන වාසි වේ.

මැදවච්චිය සිට තලෛයිමන්නාරම්තොට දක්වා දර්ශනීය ප්‍රමුඛ පෙළේ දුම්රිය පොළ 7ක්, නවීන සංඥා පද්ධතින් රැසක්, එමෙන්ම දුම්රිය හරස් මාර්ග ආරක්ෂිත ගේට්ටු ගොන්නක් ඉදිකර ඇත. මැදවච්චිය සිට සෙට්ටිකුලම, මඩුපාර දක්වා පළමු අදියර යටතේ මෙහි ඉදිකිරීම් සිදුවිය.

දෙවැනි අදියර යටතේ මඩු දුම්රිය පොළේ සිට මුරුක්කන්, මන්නාරම, පේසාලේ, තලෙයිමන්නාරම්තොට හා තලෙයිමන්නාරම්තොට දක්වා මාර්ගය තැනූයේ ඉන්දීය රජයේ දුම්රිය තාහිම් සමාගම විසිනි.

පළමු අදියර යටතේ කිලෝ මීටර් 43ක් දෙවැනි අදියර යටතේ කිලෝ මීටර් 63ක් නැංවිණි. මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 106කි.

නව දුම්රිය මාර්ගය භාවිතා කොට ගමනා ගමන කටයුතු අද (16) සිට ඇරඹේ. වසර 1914 ඇරඹී මේ දුම්රිය වසර 1964 දී හැමූ සැඩ සුළඟින් විනාශ විය. එය පසුව නවීකරණය කොට තිබුණි. 1990 ජූනි මාසයේ අවසන් වරට දුම්රිය ගමනක් සිදුවී ඇත.

තලෙයිමන්නාරම්තොට නව දුම්රියපොළ, සංඥා පද්ධතිය විවෘත කිරීමේ අවස්ථාවට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සර්ව ආගමික නායකයෝ වැඩම කොට ආශිර්වාද පළ කළහ.

කොළඹ සිට තලෙයිමන්නාරම්තොට දක්වා දුර කිලෝ මීටර් 335කි. එතැන සිට මහ සයුරෙන් ඉන්දියාවේ රමේෂ්වරන් දක්වා ගමන් කිරීමට නුදුරේදීම ඉඩකඩ සැලැසෙනු ඇත. ඒ අනුව කොළඹ කොටුව දුම්රියපොළෙන් දුම්රිය ටිකට්පතක් ලබාගෙන ඉන්දියාවට යාමට ඒමට පහසුකම් සැලැසෙනු ඇත.

නව දුම්රියපොළ, දුම්රිය මාර්ග විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, රිෂාක් බදුර්දීන්, නීතිඥ උහයිස් පාරුක්, උතුරු - නැ‍ඟෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු, ඉන්දීය - ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීහු හා ප්‍රදේශවාසී ජනතාව සහභාගි වී සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා