කතරගම බස්නායක නිලමේ ධුරයෙන් ශෂින්ද්‍ර හෙට ඉවත්ව යයි

කතරගම බස්නායක නිලමේ ධුරයෙන් ශෂින්ද්‍ර හෙට ඉවත්ව යයි

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ධුරය දැරූ ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා හෙට (17) එම ධුරයෙන් ඉවත්ව යයි.

2000 මාර්තු 17 වැනිදා ඒ මහතා එම ධුරයට පත්විය. ධුරයේ නිල කාලය වසර පහකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බලය යොදවා ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ බස්නායක නිලමේ ධුරය වසර නවයක් දක්වා දීර්ඝ කළේය.

ධුරයෙන් ඉවත්ව යෑම පිළිබඳව කරුණු පැහැදිලි කොට මහ දේවාලයේ කපු මණ්ඩ‍ලයෙන් රාජකාරි මණ්ඩලයෙන් සමුගැනීමේ හා ස්තුතිය පළ කිරීමේ විශේෂ හමුවක් පෙරේදා (14) කතරගම රාම ක්‍රිෂ්ණ ම‍ඩමේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා මෙසේ ද කීය. මට 17 වැනිදා තෙක් ධුරයේ රැඳී සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය මහතා අවස්ථාව ලබාදීම පිළිබඳව දෙදෙනාටම කෘතඥතාවය පළ කැර සිටිනවා යැයි ප්‍රකාශ කළේය.

විශේෂ අදහස් ප්‍රකාශ කිරීමක් සිදුකළ කතරගම ශ්‍රී අභිනවාරාමය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය, ශ්‍රී බෝධිරාජාරාමය යන විහාරත්‍රයාධිපති රුහුණු මාගම්පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියෝ මෙසේ ප්‍රකාශ කළහ.

මාධ්‍ය මඟින් වීරවරයින් රැකගැනීම කළ යුතුයි. සම්භාවනීය අයට ඉතා ඛේදනීය ලෙස නින්දා අපහාස කරනවා. මෙය මනුෂ්‍යත්වයට නින්දාවක්. සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියට නෑකම් කියමින් රත්වත්තේ පරපුරෙන් පටන් ගනිමින් පැවැත ආ මහ දේවාලයේ බස්නායක නිලමේ පරපුර ගැන මට මනා දැනීමක් අවබෝධයක් තිබෙනවා. ශක්තිමත් පුද්ගලයින් ආවාම ඕනෑම තැනක් ශක්තිමත් වෙනවා. වගකීමක් නැති චරිත පත්වීමෙන් ස්ථාන බලා සිටියදී පිරිහීමට ලක්වෙනවා.

ශක්තිමත් චරිතයක් බස්නායක නිලමේ ධූරයට පැමිණෙන්න ඕනෑ. ප්‍රභූවරයකු සිටින තැන ප්‍රභූගතියක් තිබිය යුතුයි. සැලකිය යුත්තන් සිඟන්නන් වගේ සිටීමට වුවමනා නැහැ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ශ්‍රී දළදා මාලිගාවට රන් වියනක් පූජා කළා. ශ්‍රේෂ්ඨ සංස්කෘතිකමය ස්ථානවල ගෞරවය එවැනි ක්‍රියාවලින් රැකෙනවා. දෙවියන්ට උපහාර දක්වන මහා සංස්කෘතික මංගල්‍ය තමයි කතරගම ඇසළ පෙරහර. රටේ සංස්කෘතිය ලොවට එක්කරන ස්ථානය කතරගම පුදබිමයි. පෙරහර ඉතා නිර්මාණශීලීව පවත්වන්න ඉදිරි බස්නායක නිල‍ෙම්වරයා පියවර ගන්න ඕනෑ.

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා දින සියයේ වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබා දෙන බව පැවැසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා