මන්නාරම දිසාවේ පාසල් ප්‍රතිසංස්කරණයට ජපානයෙන් රු. මිලියන 546 ක්

මන්නාරම දිසාවේ පාසල් ප්‍රතිසංස්කරණයට ජපානයෙන් රු. මිලියන 546 ක්

යුද ගැටුම් පැවැති සමයේ දී විනාශයට පත් මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 546 ක (අමෙරිකානු ඩොලර් මිලියන 4.2) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ජපාන රජය කැමැත්ත පළකරයි.

ඒ අනුව ප්‍රාථමික පාසල් 15ක් සහ ද්විතියික පාසල් 5ක් මේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිත අතර ඊට අමතරව ගුරුවරුන් පුහුණු කිරීමට ද නියමිතයි.

යුද ගැටුම් පැවැති ප්‍රදේශයන්හි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම මෙන්ම දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් ජපන් රජය මූල්‍යාධාර ලබාදී තිබෙන අතර එක්සත් ජාතීන්ගේ ජනාවාස පිළිබඳ ආයතනය මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

මේ සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නිල නිවෙසේ දී සිදු කෙරුණු අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ සහ එක්සත් ජාතීන්ගේ ජනාවාස පිළිබඳ ආයතනයේ ආසියා සහ පැසිෆික් කලාපීය ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රීනිවාස පොපුරි මහත්වරු අත්සන් කළහ.

මෙහිදී අඳහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබුහිතෝ හොබෝ මහතා ප්‍රකාශ කෙළේ ,මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් එම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ පහසුකම් නැංවීමට සහ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට හැකිවන බවත් යුද ගැටුම් පැවැති කාලයේ විනාශයට පත් ප්‍රදේශයන්හි අධ්‍යාපන පහසුකම් නැංවීම සඳහා ජපානය ප්‍රමුඛත්වය දී තිබෙන බවත්ය.

ගැටුම් පැවැති ප්‍රදේශයන්හි කාන්තාවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය 2013 හා 2014 වර්ෂයන්හි දී එක්සත් ජාතීන්ගේ ජනාවාස පිළිබඳ ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.3ක මුදලක් ලබාදී තිබෙන අතර එමඟින් ඒ ඒ දිස්ත්‍රික්කයන්හි නැවත පදිංචි කළ ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට අවස්ථාව සැළසෙන බවද තානාපතිවරයා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ජපන් රජයේ ආධාර සපයන අතර ඉදිරියටත් එම සහයෝඟය ලබාදීමට සූදානම් බව පෙන්වාදුන් තානාපතිවරයා ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයෙන් විපතට පත් ප්‍රදේශ යළි ගොඩනැඟීමේ කාර්යයේ දී ජපානය ප්‍රබල සහකරුවකු වශයෙන් ක්‍රියාකරන බවද ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කරළීම අවශ්‍ය වී තිබෙන බවද සඳහන් කෙළේය.

මේ වනවිට ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් ජයග්‍රහණ රැසක් ලබා තිබෙන බව සිහිපත් කළ ඒ මහතා තවදුරටත් ජයග්‍රහණය කළයුතු අභියෝග තිබෙන බවද ඒවා ජය ගනිමින් ඉදිරියට යා‍මේ අවශ්‍යතාව තිබෙන බවද පෙන්වා දුන්නේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැළසුම් අධ්‍යක්ෂ ආචාර්ය මධුර වේහැල්ල මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා