අගමැති මෝදි  ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගනියි

අගමැති මෝදි  ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදා ගනියි

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟින් එක්ව පෙරේදා (14) උදෑසන ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රි මහා බෝසමිදු වැද පුදා ගනු ලැබීය.‍

ජනාධිපතිවරයා ප්‍රධාන පිරිස පෙරටුකරගනිමින් උඩමළුවට පැමිණි මෝදි අගමැතිවරයාට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

මේ අසිරිමත් අවස්ථාවේදි ස්වභාවධර්මයාද ආශිර්වාද කරන්නාක් මෙන් මල් වැසි අද වැටෙන්නට විය.

මෝදි අගමැතිවරයා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පිරිකර පූජා කර අටමස්ථානාධිපති ඇතුළු මහා සංඝරත්නයට පාද නමස්කාර කළේය.

අනතුරුව විහාරස්ථානයට පැමිණ අටමස්ථානාධිපති නා හිමි බැහැදුටු මෝදි අගමැතිවරයා උන්වහන්සේට පිරිකර පූජා කළේය.

ජය ශ්‍රි මහා බෝධිය වැද පුදා ගැනීමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන්ට දෑත් එක් කොට ආචාර සමාචාර කළ අගමැතිවරයා රුවන්වැලි සෑය බලා නික්ම ගියේය. විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් රුවන්වැලි සෑය අභියස පැවැත්වූ ආගමික වතාවත්වලට නරේන්ද්‍ර මෝදි මහතා එක්වූයේ ඇදහැළෙන ධාරානිපාත වැසි තත්ත්වයද නොසලකා හරිමිනි.

විහාරස්ථානයේදි නායක හිමියන් බැහැ දුටු මෝදි මහතා අටපිරිකර පූජා කළේය.

අනතුරුව ශ්‍රි ලංකා නිල සංචාරයට එක්වූ මෝදි අගමැතිවරයාට නායකහිමියන් විසින් කළ කෙටි අනුශාසනාවකින් පසුව තිළිණයක්ද පිරිනැමීය.

ජනතාවට දෑත් එක් කොට ආචාර කළ නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ඉන්දියානු හෙළිකොප්ටර යානයකින් තලෙයිමන්නාරම බලා පිටත් විය. වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල , විදේශ ඇමැති මංගල සමරවීර , රාජ්‍ය පරිපාලන සහ බෞද්ධ කටයුතු ඇමැති කරු ජයසූරිය, වාරිමාර්ග ඇමැති දුමින්ද දිසානායක මහත්වරු ඇතුළු මැතිඇමැතිවරු විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වී සිටයහ .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති නරේන්ද්‍ර මෝදි මහත්වරු ජයශ්‍රී මහා බෝධියට පුෂ්පෝපහාර දක්වමින්.

මෝදි අගමැතිවරයාගෙන් ජය ශ්‍රී මහ ‍බෝ සමිඳුන්ට සිවුරු පූජාවක්

 

රුවන්වැලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ගෙන් මෝදි මහතාට තිළිණයක්

 

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහියන්ගෙන් අගමැතිවරයාට සමරු තිළිණයක්

 

මහ වැසි මැද අගමැති මෝදි මහතා රුවන්වැලි මහ සෑයට පැමිණි අයුරු...

අගමැති මෝදි මහතා ජනතා හරසර මැද

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා