පරීක්ෂණ නිමවන තුරු මහ බැංකු අධිපති නිවාඩු

පරීක්ෂණ නිමවන තුරු මහ බැංකු අධිපති නිවාඩු

මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඔහුට එරෙහි පරීක්ෂණ මෙහෙය වන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු නිම වන තුරු තාවකාලිකව එම ධුරයෙන් ඉවත්වීමට බොහෝසෙයින් ඉඩ ඇති බව මහ බැංකු ප්‍රකාශකයෙක් පැවැසීය.

‍එම ප්‍රකාශකයාට අනුව ‍මහේන්ද්‍රන් මහතා පරීක්ෂණ නිමවනතුරු නිවාඩු ලබා ගැනීමට ද ඉඩ ඇති බව පැවැසීය. මෙම කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර ඇත. එහි පරීක්ෂණ වාර්තාව අප්‍රේල් මුල් සතියේ නිකුත් කරනු ඇතැයි ප්‍රතිපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.

අද දින (16) සිට සෑම දිනකම රැස්වනු ඇති කමිටුව ඒ පිළිබඳ සෑම අංශයක් වෙතින් පරීක්ෂණ මෙහෙයවනු ඇත.

පුද්ගලයන් කිසිවකු මේ දක්වා කමිටුව හමුවට පමුණුවා නොමැති අතර දැනට පරීක්ෂණ සිදුකර ඇත්තේ මහ බැංකුව විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳව ය.

විශේෂඥයන්ගේ තාක්ෂණික උපදෙස් ලබා ගනිමින් කමිටුව ක්‍රියාත්මක වන බව ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික කටයුතු ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

ඔහු පැවසුවේ කමිටු වාර්තා මත පිහිටමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාර්තු 9 දින භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා නීතිඥ ගාමිණී පිටිපන (සභාපති) මහේෂ් කලුගම්පිටිය සහ චන්දිමාල් මෙන්ඩිස්ගෙන් සමන්විත කමිටුව පත් කළේය.

ජේ. වී. පී. ඇතුළත් බහුවිධ පක්ෂ ඉල්ලා සිටිනුයේ මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, භාණ්ඩාගාර බැඳුම්කර සිදුවීම් පිළිබඳ පරීක්ෂණ නිම වන තුරු එම ධුරයෙන් ඉවත් කරන ලෙසයි.

සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණය පැවැත්වීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා එම ධුරයෙන් ඉවත් කළ යුතු බව හෝ ඔහු ඉල්ලා අස්විය යුතු බව ජේ. වී. පී. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැලවත්ත, බත්තරමුල්ල, ජේ. වී. පී. මූලස්ථානයේ පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා