උතුරේ අඩු ආදායම්ලාභීන්ට නව නිවාස

උතුරේ අඩු ආදායම්ලාභීන්ට නව නිවාස

අගමැති‍ මෝදි අතින් ඔප්පු

යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ඉන්දීය රජයේ ආධාර මත උතුරු පළාතේ ඉදිකළ නිවාස එහි හිමිකරුවන් වෙත නිල වශයෙන් බාරදීම ඉන්දීය අගමැති න‍රේන්ද්‍ර ‍මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ සහ අඩුආදායම්ලාභී ජනතාව වෙත බෙදාදීම සඳහා ඉන්දීය රජයේ ආධාර මත නිවාස 50,000 ක් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත අතර ඒ යටතේ මේ දක්වා ඉදිකළ නිවාස ජනතා අයිතියට පත්කරමින් යාපනය, ඉලවාලෙයි ප්‍රදේශයේ ඉදිකළ නිවාස 1,000 ක් බෙදා දෙන ලදී. එම නිවාස බෙදාදීම සංකේතවත් කරමින් පවුල්10ට අයත් නිවාසවල අයිතිය ඉන්දීය අගමැතිවරයා අතින් පිරිනැමිණී.

මේ ව්‍යාපෘතිය යටතේ උතුරු, නැඟෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල නිවාස ඉදිකෙරෙන අතර උතුරු පළාතට 42,000, නැඟෙනහිර පළාතට 4,000 සහ මධ්‍යම හා ඌව පළාත් සඳහා 4,000 බැඟින් නිවාස ඉදිකිරීමට සැලසුම්කර තිබේ. මේ වනවිට අදියර කිහිපයක් යටතේ නිවාස 27,000ක් ඉදිකර ඇති අතර සෙසු නිවාස ඉදිකිරීම ඉදිරි වසරවල අවසන් කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2010 වසරේ ජූනි මාසයේ ඉන්දියාවේ කළ සංචාරයේ දී එවකට ඉන්දීය අගමැති ආචාර්ය මං මෝහන් සිං මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මේ නිවාස 50,000 ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ලැබී තිබෙන අතර යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත් නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකරදීම ඊට අයත් වෙයි.

මේ නිවාස ව්‍යාපෘතියේ මුල් අදියර නියමු ව්‍යාපෘතියක් වශයෙන් නිවාස 1,000ක් ඉදිකිරීම පසුගිය 2011 වසරේ දී ආරම්භ කෙරුණු අතර එය 2012 වසරේ ජූනි මාසය වනවිට අවසන් කෙරිණී. දෙවැනි අදියරේ සිට මේ ව්‍යාපෘතිය ඒ ඒ නිවාසයන්හි හිමිකරුවන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කරන අතර 2013 වසරේ දී නිවාස 10,000ක් පමණ ඉදිකළ අතර 2014 වසරේ දී තවත් නිවාස 16,000ක් තනා නිම කෙරිණි.

යුද ගැටුම් හේතුවෙන් අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීම සහ ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරමින් ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම මේ නිවාස ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙන අතර ඒ වෙනුවෙන් ඉන්දීය රජය වෙන්කර තිබෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 270 (ඉන්දීය රුපියල් කෝටි 1,372) කි.

මේ නිවාස ව්‍යාපෘතියේ දී ඉන්දීය රජය විසින් අදාළ නිවාස හිමියන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම මුදල් බැරකරන අතර ඒ සඳහා නියෝජිත ආයතන 4ක් සමඟ එක්ව කටයුතු කරයි. නිවාස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා අදාළ නිවාසවල හානිය තක්ෂේරුකර ගැනීමෙන් අනතුරුව රුපියල් 250,000ක මුදලක් ලබාදෙන අතර එය සියයට 40, සියයට 50 සහ සියයට 10 ආදී ලෙස වාරික වශයෙන් ලබාදෙයි.

වැවිලි කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, උතුරු පළාත් ආණ්ඩුකාර පලිහක්කාර, ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වර්න් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි. කේ. සිංහා මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා