19 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය

19 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය

- ගැසට් පත්‍රය ඊයේම මුද්‍රණයට

ජ නාධිපති බලතල අවම කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ(15) සවස පැවැත්වූ විශේෂ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී අදාළ ගැසට් පත්‍රය මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා-

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් විශාල පිරිසක් මේ සඳහා පැමිණ සිටියා. මේ කෙටුම්පතේ සඳහන් කරුණු අටක් පිළිබඳ මෙහිදී එකඟතාවකට පැමිණියා. පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කිරීම, අධිකරණය ඉදිරියේ ජනාධිපතිවරයාගේ භුක්තිය ඉවත් කිරීමට එකඟ වුණා.

ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුනත් මීට පසු ඒක පත් කරන්න පුළුවන් යම් කිසි නිර්නායක යටතේ පමණක්. ජනාධිපති ධූර කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු කරන්න තීරණය කළා. කැබිනට් මණ්ඩලය තිස් දෙනකුට අඩු කිරීමටත්, කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව හතලිහකට සිමා කිරීමටත් තීන්දු කළා. වරදකරුවන්ට සමාව දීමේ බලය පාවිච්චි කරන්නෙත් යම් නිර්නායකයන්ට යටත්ව පමණයි කියලා තින්දු කළා.

එකම ප්‍රශ්නයයි තිබුනෙ. රටේ රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා ජනාධිපති වුනත් ආණ්ඩුවේ නායකයා ලෙස අගමැතිවරයා පිළිගැනීම නිසා ආණ්ඩුවේ නායකයා වශයෙන් අගමැතිවරයා ජනාධිපතිවරයා පිළිගත යුතුයි යන දැඩි ස්ථාවරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටීමෙන්. ඒ අනුව අවසාන කෙටුම් පතට ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාත් සේනාධිනායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා බවට මේ පවතින ජනාධිපතිවරයා පත් වුණා. ඒ අනුව මේ කෙටුම් පත අද දවල් දෙකට පැවැත් වූ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දීර්ඝව සාකච්ඡා කර සම්මත කළා. ඒ අනුව මධ්‍යම රාත්‍රි දොළහට මේ ව්‍යවස්ථා කෙටුම් පත ගැසට් කිරීමට තින්දු කළා.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා