මහින්දානන්දගෙන් මරණ තර්ජන

මහින්දානන්දගෙන් මරණ තර්ජන

- එජාප සංවිධායකගෙන් පැමිණිල්ලක්

පැමිණිල්ල බොරුවක්

- මහින්දානන්ද අළුත්ගමගේ

ගම්පොළ අධිකරණ භූමිය තුළදී හිටපු ක්‍රීඩා ඇමැති නාවලපිටිය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පිස්තෝලයක් එල්ලකර මරණීය තර්ජන කර තමන් සමඟ නඩුවක සමථයකට පැමිණීමට එකඟවී සිටි පුද්ගලයකු පැහැරගෙන ගිය බවට නාවලපිටිය එජාප සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතා ගම්පොළ පොලීසියට පැමිණිල්ලක් කැර ඇත.

ඉකුත් 13 දා මෙම පැමිණිල්ල සිදුකර‍ තිබෙන අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පැහැරගෙන ගොස් ඇත්තේ ගඟ ඉහළ ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ඩී.ඩබ්ලිව් මනතුංග බවට පැමිණිල්ලේ සඳහන් වෙයි.

තමන් හා මනතුංග මන්ත්‍රීවරයා අතර ඇති වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් දෙදෙනා කතාකර එකඟතාවකට පැමිණ ඒ බව අධිකරණයට දැනුම්දීම සඳහා ගිය අවස්ථාවේ මෙම සිද්ධිය වූ බව ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අදාළ පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේ තමන් ඒ බව අධිකරණයට දැනුම් දී පොලීසියට පැමිණිල්ලක් කළ බවද ඒ මහතා කීය.

මෙම පැමිණිල්ල මුළු මනින්ම අසත්‍ය බවත් තමන් එදින ගම්පොළ අධිකරණයට ගියත් ගිනි අවි පෙන්වා කිසිවකු පැහැරගෙන නොගිය බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ව්‍යාජ පැමිණිල්ලක් සිදුකිරීම සම්බන්ධව නාවලපිටිය එජාප සංවිධායකවරයාට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද හෙතෙම කීය.

තමන්ව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැහැරගෙන නොගිය බවත් එදින තමන් ස්ව කැමැත්තෙන් ඔහු සමඟ ගිය බවත් පවසමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී මනතුංග මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් කැර තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා